Tuesday, July 5, 2022

හිම + සූර්‍ය + සූරියකාන්ත

හිම + සූර්‍ය +  සූරියකාන්ත



 


එකෝමත් එක රටක හිම පියල්ලක් තිබ්බා. සුදුම සුදුපාට හිම පියල්ලක්. කවදාවත් ඉර ඇහැ නොගැටුන හිම පියල්ලක්. එක දවසක ඉර ගැන ඉරේ උණුසුම ගැන, ඉර කොච්චර ආදරනීයද කියන එක ගැන කතාවක් හම්බුනා. ඉතින් ඒ කතාවෙන් පස්සෙ ඉර ගැන කතා හැම තැනම හොය හොය කියවන්න ගත්තා. ඉරට ආදරේ කරන්න ගත්තා. වසන්තය එනකන් බලන් හිටියා. 


වසන්තය එනකන් බලන් ඉදලා 5542035251 ගතවුනාට පස්සෙ කදුලු බිංදු 587423855645 කට පස්සෙ සුසුම් 5422587421155684 පස්සෙ නිදි නැතුව ගෙවපු දවස් 5841224217421587 පස්සෙ එයා තේරුම් ගත්තා එයා ඇත්තම ඇත්ත හිම පියල්ලක් කියලා.  ඉර දකින්නවත් ඉරට ආදරේ කරන්නවත් හිරු රශ්මියෙ නැහැවෙන්නවත් අයිතියක් නැ කියලා. හැමොම කියන සූරියකාන්ත මලට විතරයි ඉරට ආදරේ කරන්න පුලුවන් කියලා. ඉර හැරෙන හැරෙන පැත්තට හැරි හැරි ඉර විදින්න පුලුවන් කියලා. 


නැ මට ඕන ඉරට ආදරේ කරන්න. පුංචි හිමපියලි එයාටම කියා ගත්තා. 


ඒ ඉරේ රස්නෙන් ඔයා මැරිලා යයි. දියවෙලා යයි ඉරට ආදරේ කරනවා කියලා දැනගත්ත හැමෝම කීවා. 


සංස්කෘතිය, සදාචාරය ගැන ප්‍රශ්න කරා. හිම පියලකට අවසර තියෙන්නෙ හිම මිනිහෙක්ට එහෙම නැත්තම් හිම වලහෙක්ට ආදරේ කරන්න විතරයි හැමෝම කියුවා. 


ඒත් කවුද මේ සීමා දාන්නෙ. හිම පියල්ලට ඕන උනේ ඒ සීමා බිදින්න. ඉර එළියෙ සැනසෙන්න. ඒ රශ්මියෙ නැහැවෙන්න. පිච්චෙනවා කියලා දැන දැනත් ඉරට පූජාවෙන්න. 


සති පූජාව තියෙන්නෙ ඉන්දියාවෙ විතරයි අහලපහල අය හිනා උනා. 


සුදු කියන්නෙ පිවිතුරු බවේ පාට. සුදු පාටට බෑ රතු පාට ඉරට ආදරේ කරන්න. හිම පියලි පිවිතුරුයි. ඉර නපුරුයි. ඉරේ රැස් දරන්න බැ හිම පියළිවලට හැමෝම කිව්වා. 


ඒත් ඒ ඔක්කොම අස්සෙ හිම පියලි තීරණය කරා ඉරට ආදරේ කරන්න. 


සිසිර සෘතුවෙන් මීටර් දෙකයි තුන් කාලක් මෙහාට වෙන්න තියන වසන්ත සෘතුවට අඩිය තිබ්බා. ඔව් ඉර එක්ක ආදරෙන් බැදුනා. ඉරට ආදරේ කරන්න පටන් ගත්තා. එයා හිම පියල්ලක් කියන එක අමතකම වෙලා යන තරමට ආදරේ කරන්න ගත්තා. ඒත් හිම පියලි ඉරේ රැස්වලටම දිය වෙලා යමින් තිබ්බා. 


ඒ හිම පියලි දියවෙලා ගලන වතුරෙන් සූරියකාන්ත මල තවතවත් ලස්සනට වැඩුනා. ඉරේ පාට එතකොට ඉරේ "සූර්‍ය" කියන නම ඒ ඔක්කොම අයිතින් එක්ක සූරියකාන්ත මල හරිම ආඩම්බරෙන් හිනා උනා. හැමෝම සූරියකාන්ත මල අගේ කලා. හැමෝම ඉර ගැන කතා කරද්දි සූරියකාන්ත මල ගැනත් මතක් කරා.


හැමෝමට ඉරට තමන්ටත් වැඩියෙන් ආදරේ කරපු, වේදනාවක් බවත්, පිච්චෙනවා කියලා දැන දැනත් ඉර එක්ක ආදරෙන් බැදුනු හිම පියලි අමතක වෙලා ගියා. ඉරේ රැස්වලට දියවෙන්න දියවෙන්න ඉරත් හිමපියලි අමතක කරලා දැම්මා ටිකෙන් ටික. ටිකෙන් ටික.  


ඉර සූරියකාන්ත මල එක්ක ආයෙමත් ජීවත් වෙන්න පටන් ගත්තා. සදහටම.

No comments:

Post a Comment