Sunday, September 18, 2022

සිසිරයේදිත් ලිලී පිපුනා

සිසිරයේදිත් ලිලී පිපුනා





ආදරේ සුන්දරයි කියලා

ඇහැල මල් මුමුණාපු හන්දා

ප්‍රේමයක සිහිනයක් මැවිලා

මං මගේ හදවතම දුන්නා


ආදරය නම් මෙයැයි කියලා

අකුරු මත ඔබ ලියන හන්දා

හැම හීන ඒ තුළින් දැකලා

හදවතම මං නුඹට ලිව්වා


ඔබ මගේ ලොව සදයි හිතලා

අමාවක තනියෙන්ම ගෙවලා

රෑ අහසෙ තරු ගොඩක් දැකලා

හදේ හාවම වෙන්න පතලා


වසන්තය නුඹ ළගම හන්දා

ඔබ නොමැති සෘතු බොහෝ ගෙව්වා

නුඹ මෙමට දෙන සෙනෙහෙ දැකලා

සිසිරයේදිත් ලිලී පිපුනා

Sunday, September 11, 2022

රාත්‍රිය

 රාත්‍රිය




රාත්‍රිය තියෙන්නෙම නුබ පපුවෙ ගුලි වෙන්න

මුදු සුළං හමන්නෙම ඔය තුරුලෙ සනහන්න

තාරුකා සිටින්නෙම නුබ සදයි පෙන්වන්න

නුබ හාදු තවරන්නෙ ඔය සෙනේ දනවන්න


ආදරේ දැනෙන්නෙම ලගට වී මුමුනන්න

අත් දෙකක් පැටලෙන්නෙ පටලාන ඇවිදින්න

කවි අකුරු ලියවෙන්නෙ මගේ පෙම පෙන්වන්න

අපි අපිට බැදෙන්නෙම එක්වෙලා දුර යන්න


මුහුණු පොත තියෙන්නෙම අපි අපට හමුවෙන්න

නුබේ වතගොත සොයා හැමදාම පෙරලන්න

මග හැරුණු කවි ගීත එක්වෙලා කියවන්න

සයිබරය තියෙන්නෙම සැමගෙන්ම සැගවෙන්න


මතකයන් තියෙන්නෙම සොදුරු දින සිහිවන්න

සිහිනයන් දකින්නෙම නුඹ මගෙයි දනවන්න

හැම පැතුම් පතන්නෙම ඔබ අසල දැවටෙන්න

සිනහවන් තියෙන්නෙම කදුලු කැට සගවන්න

Sunday, September 4, 2022

වසත් කල

වසත් කල




නුබේ සිනාවක සෙමින් දැවටී

හාදු නම් මට හරිම මිහිරී

ශීත සෘතු නම් සෙමින් දියවී

මෙ මා නුබ ලගම රැදුනී


මුහුණු පොත් ඇරයුමක ඇමිනී

මින්දදගෙ හීසැරය යැවුනී

අකුරු මත ප්‍රේමයට මත්වී

හදවතම නුබ නමට ලිවුනී


වසත් කල ආබවක් හැගුනී

පුදන පෙම මල් වෙලා පිපුනී

ජීවිතේ නම් මෙයැයි සිතුනී

මං නුබට තව තවත් බැදුනී


ජීවිතේ රැදි තනුව නුබවී

සෑම කවි ඔබ වටා ගෙතිනී

ප්‍රේමයේ සෙනෙහසින් සැනසී

මෙමා නුබ ලගම නිවුනී

Sunday, August 28, 2022

කදුලු

කදුලු




 සදක් නැති අහසකට 

තරුත් ඇත ලග ඉන්න

වැසිත් නැති දිනවලට 

වැවක් ඇත දිය දෙන්න



මලක් බිම වැටෙන විට

පොළව ඇත සිප ගන්න

නුබත් නැති රෑවලට 

කදුලු ඇත ලග ඉන්න

Sunday, August 21, 2022

ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද

ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද




ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද

සිසිරයේ සැදෑවක ඩයිඩ්‍රැක්ස්  නොපිපේද

සරත් කල අතර මැද හිම පියලි නොවැටෙයිද

ආදරය තියෙන්නෙම වසන්තයෙ විතරයිද


ප්‍රේමයෙන් පිරි කලෙක සිනාවක් පමණමද

උණුම උණු කදුලකට මුව සිබිය නො හැකිමද

ඉදහිටක රණ්ඩු වී යළි බැදෙන්නට බැරිද

වසන්තය නැති කලෙක  අපට අප හිමි නැතිද


වැස්සකට පසුව එන දේදුන්න නොපෙනේද

කදුලකම සැගවෙච්ච සෙනහසක් නොදැනේද

මං නුඹට ආදරෙයි එක විටම මුමුණමුද

එකම එක හාදුවක යළි සෙනේ පුරෝමුද


හිටිගමන් දහවලක වැහි අදුර නොවැටේද

වසන්තය අතර මැද මහා වැසි නොවහීද

මිමෝසා පත්‍රයන් දහවලේ නොනිදාද

ඉතින් මේ හැම සෘතුවකම අපේ පෙම දලුදාද

Sunday, August 14, 2022

ඉතින් එච්චරය

 ඉස්සර මම කවි ලිව්වා. බ්ලොග් ලිව්වා. පොත් කියෙව්වා. ෆිල්ම්, ටීවී සීරීස් බැලුවා. පස්සෙ එක දවසක් නැකිටිද්දි හැමදේම අලුපාට වෙලා තිබ්බා. මිමෝසා ගස්වල කටු විතරක්ම පේන්න අරන් තිබ්බා. ට්‍රයිඩැක්ස් මල් ලෝකෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා, මිදි කොලවලට වඩා මේපල් පත්‍රවල හිතුවක්කාරකම ආසා කරපු මට මිදිකොල විතරක්ම පේන්න ගත්තා, රතු ඇපල් නොකෑවත් හලාහල විශ ශරීරගතවෙලා තිබ්බා, ඉදිකට්ටක් ඇගිල්ලෙ ඇනුනෙ නැති උනත් ඇදට ආදරේ හිතෙන්න ගත්තා, අකුරු අමතක වෙලා ගිහින් තිබ්බා, හිම ප්‍රහාරයකට මුහුණ නොදුන්නත් ඒ උදේ හමපු සීතලම සීතල හුලගට අහුවෙලා හදවත ගල් වෙන්න අරන් තිබුනා. රුසියන් සුරංගනා කතා එක්කම ලොකු උන ළමා කාලයක් තිබ්බ මට ඉංග්‍රීසි සුරංගනා කතා විතරක් ම මතක් වෙන්න ගත්තා. ඉතින් එච්චරය




Sunday, August 7, 2022

තුවාල

 තුවාල




රෝස පාට දවස්, නිල් පාට දවස්, ලේ පාට දවස් වගේම, අලු පාට දවස්වලත්, සුදුම සුදු දවස්වලත්, කලුම කලු පාට  අන්දකාර දවස්වලත් මට ඕන ඔයාගෙ අතින් අල්ලන් ඉන්න. ඔයාගෙම විතරක්


මන් කියන්නෙ නැ මන් කවදාවත් ඔයාට රිද්දන්නෙ නෑ කියලා. මොකද මන් දන්නවා මන් අල්ලන් ඉද්දි අත ඇරෙයි කියන බයට මන් තදින් අල්ලයි, එතකොට මගෙ නියපොතුවලට සීරෙයි, තුවාල වෙයි, ලේ ඒවි, සමහර විට ඒ තුවාලවලටම විසබීජ ගිහින් නොදැනුවත්වම ඒවා ලොකු තුවාල වෙයි. මන් තදින් අල්ලන් ඉද්දි මගෙ හිතේ තියෙන්නෙ එකම බය ඔයාව අත ඇරෙයි කියන එක. එතකොට මගෙ ඔලුවට යන්නෙ නෑ ඒ තද කරන විදිහට ඔයාට රිදෙයි කියලා,මගෙම නියපොතු ඔයාව තුවාල කරනවා කියන එක. ඒත් හැමදේම සාමකාමී වෙලා මන් ඔයාගෙ අත දිහා බලද්දි ඒකෙන් ලේ ගලද්දි ඔයාට වඩා මට රිදෙනවා රන්. ඔයා පිලිගත්තත් නැතත් ඔයාට රිද්දන්න කරන හ්ැම දේකින්ම වැඩියෙන් රිදෙන්නෙ මට. මන් පොරොන්දු වෙනවා අනිත් අයගෙන් වන තුවාල වගේම මන්ම කරන තුවාල තුවාලත් මන්ම සනීප කරන්නම්. හිමීට ඔයාට නොරිදෙන්න මන්ම බෙහෙත් දාලා සනීප කරන්නම්