Sunday, July 31, 2022

අහිමි

අහිමි 




නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්

අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්

 නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්

ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්


මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්

ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්

හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්

නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්


ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්

අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්

නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්

වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්


රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්

හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්

ආදරේ නුබට මයි අපි අපට කියූවත්

අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්

Sunday, July 24, 2022

නොමියෙන ආදරේ

නොමියෙන ආදරේ 




නිදි නැතිව රතු වෙච්ච දෙනෙතක

එන තෙක්ම මග බලපු බැල්මක

හිත රිදුනු එක් පුංචි බැනුමක

තිබිය නොහැකිමද ආදරේ නොමියෙන


ඔබ නැතිව තනි වෙච්ච මොහොතක

මට හොරෙන් ගිලිහෙච්ච කදුලක

මුලු ලොවම පාලුවේ යැයි දැනෙන හැගුමක

තිබිය නොහැකිමද ආදරේ නොමියෙන


නුබ කියා සිප ගත්ත රූපෙක

මට පාලුයි යැයි එවූ අකුරක

හුවමාරු කර ගත්ත එක් පුංචි හීනෙක

තිබිය නොහැකිමද ආදරේ නොමියෙන


මධු බදුන පෙරලී බිම වැටුන හවසක

දුම් වැටි අතුරුදන් වන මායාකර්මෙක

මිතුරු හමු අතර මැද එවන ඇමතුමක

තිබිය නොහැකිමද ආදරේ නොමියෙන


වත පුරා මැවුනු නිය රටාවක

ජීවිතය වටහා දුන්න සිපුමක

රාගයම තවරා කරපු සැපුමක

තිබිය නොහැකිමද ආදරේ නොමියන



ඔබ අසල නිරුවත් වෙච්ච දවසක

සැමදේම නුබටමයි කියන මොහොතක

රාගයේ පහසින්ම අප වෙලෙන ක්ෂණයක

තිබිය නොහැකිද ආදරේ නොමියෙන

ඉතින් මා සුපෙම්වත

  ඉතින් මා සුපෙම්වත




ඉතින් මා සුපෙම්වත නුබ කොහේ වෙසෙනවාද

පිපෙන මල් වැසි වෙලා නුබේ වත සිබිනවද

මහ නපුරු මේ කාලෙ නුබ හොදින් වෙසෙනවාද

අත ගත්තු ඈ සුවෙන් නුබේ ලග නිදනවාද


මුහුණු පොතෙ වගතුගත් මන් වගේ සොයනවද

මගහැරුනු ඇමතුමට දෙස්දෙවොල් තියනවාද

නුබ දවන ඉකිබිදුම් ඉදහිටක තියනවද

නුබ ඉතින් සිනාසී ඒ හිසත් සිබිනවද



කටුගාපු කුරුටු කවි ඈ හොදින් බලනවාද

නුබ ලියන කතාවල පෙර අපර සොයනවද

අත රැදුන පන්හිදක් ඇයට අගයක් නැද්ද

සයිබරය කිසි තැනක නොලියන්නෙ ඒකමද


මංගල්‍යය දින තිබූ හිනාවන් එහෙමමද

ඇත්තමයි ඇය හොදයි ලස්සනයි නේද

ඇය දකිනවිට මෙමට රිදෙන බව දන්නවාද

ඇගේ රුව මා ඇසින් වසන්නේ ඒකමද


මට ඇවැසි ලෙස එදා නුබ නොඇන්දේ මන්ද

නුබ රජෙක් ඇත්තමයි නොඇන්දත් මුල් ඇදුම

පෙම් බැන්ද රැවුල කොන්ඩය කපා දැමුවේ ඇයිද

පෙර මෙන්ම නුබත් දැන් ඒවාට ප්‍රිය නැද්ද


ඉතින් නුබ පෙර මෙන්ම රෑ අහස බලනවාද

වලාකුළුවල ඉතින් මගේ රුව සොයනවාද

බ්ලොක් කරපු අය අස්සෙ මගෙ නමත් තියනවාද

ඉදහිටක නුබ හොදින් දැයි ඇවිත් කියනවාද


මන් දුන්න කවි පොතේ කවි තාම තියනවාද

ඉදහිටක කවි අස්සෙ මගේ රුව මැවෙනවාද

අපි අපට කල ප්‍රේමෙ මතක් වී රිදෙනවාද

බ්ලොග් එකට නුබ ඇවිත් හොරපාරෙ යනවාද


නිදි නොමැති රෑවලට අපෙ මතක එබෙනවාද

නුබ එවිට වම්පසින් නිදන ඈ දකිනවාද

මා දවන සුසුමක්ම මා වෙතම පා කරලා

ඉතින් ඇය තුරුලට කරන් නුබ යලිත් නිදනවාද

කෝපි ඇස්

කෝපි ඇස්




ආදරේ බව මටම

සැග වුවත් දෝරෙ යන

මං කැමති ඇස් තමයි

ඔහුගෙ ඒ කෝපි ඇස්


සගවනා සිනා රැල්

හොරහින්ම පිට පනින

මගේ මේ හිත ගත්තු

කෝපි පැහැ ගත්ත ඇස්


එහේ මෙහේ දුර දුවපු 

මගේ වත මත රැදුනු

නැවතිලා ඉගි මරපු

ඇස් තමයි කෝපි ඇස්

 

සිසිරයේ දහවලක

පෙම් හැගුම් පුබුදගෙන

මගේ ලොව වෙත ආව

මං ආස කෝපි ඇස්


ඇස් මතම නැවතිලා

මගේ හිත මත හීන

එකින් එක ගොඩ ගසන

ප්‍රේමයේ කෝපි ඇස්


වැසි දිනක සීතලට

උණුසුමක් දනවනා

විඩාබර ගමනතර

මා නිවා සනහනා

ඉතින් ඒ කෝපි ඇස්



ආදරේ තවරන්න

මගේ ලග නැවතිච්ච 

නැවතිලා කෝල වුන 

ඇස් තමයි කෝපි ඇස් 

Sunday, July 17, 2022

පුලුන් පුරෝපු වලහෙක්‍

ටෙඩී වලහෙක්




නිකමට හිතලා තියනවාද පුලුන් පුරවපු ටෙඩී වලහෙක්ගෙ හදවතත් පුලුන් වලින්ම විතරක් හදලා තියෙන්නෙ මොකද කියලා. ඌසාවෙ මායාකාරයා පොතේ ඉන්න ටින් මිනිසා හදවතක් ඉල්ලන් මායාකාරයා හම්බෙන්න යනවා වගේ එහෙමත් නැත්තම් පඹයා මොලයක් ඉල්ලන් යනවා වගේ අපේ ඇදේ කොනක නිදා ගන්න ටෙඩී වලහා හදවතක් ඉල්ලගෙන මායාකාරයො හොයා ගෙන නොගියෙ ඇයි කියලා. එයාලට තියෙන්නෙ පුලුන් හදවත්. අපේ කදුලුවර බරින් වේදනාවක් දැනෙන හදවත්. ඒ ටෙඩියට තුරුල් වෙලා අඩද්දි අපේ කදුලු උරවගන්න පුලුවන් හදවත්. අපේ මූණෙන් කදුලු අතුරුදහන් කරලා එයාලා ගන්න හදවතක්. 

කවදාවත්ම කදුලු එන්නෙ නෑ කියලා ජීවිතේට එන අය කදුලු විතරක්ම දෙද්දි ඒ කදුලු පිහින්න කිසින පොරොන්දුවක් නොදී බලන් ඉන්නෙ එයාලා. කිසිම ගතු කියවිල්ලක් නොදී උරහිස දෙන්නෙ එයාලා. ආදරේ නොඉල්ලා අපිට ආදරේ විතරක්ම දෙන්නෙ එයාලා.


ඉතින් එන්න අපි පුලුන් පුරෝපු වලහෙක්‍ට ආදරේ කරමු.

Sunday, July 10, 2022

නුබ තාම තරහින්ද

නුබ තාම තරහින්ද





ඉතින් මා ප්‍රිය සොදුර

නුබ තාම තරහින්ද

එදා ඒ මිහිරි රැය

මිහිරිතම නොවුනාට


ආදරේ මෘදු සිපුම්

රාගයට හැරුනාට

අයිති නැති නුබෙ වතේ

අයිතියක් ඇන්දාට


නුබේ අත සිදුරු කල

මගේ දැඩි නිය පහර

නුබේ හද සිදුරු කල

බව නොදැන සිටියෙ මම


මගේ වත මත ඇදුන

ඒ සැපුම් පහරවල්

ගෙන ආපු මිහිරි බව

තවත් නම් පලක් නැත


ප්‍රේමයේ නාමයෙන්

ගැලු කදුලු අපමණය

මා දවන චෝදනා 

තවත් නම් අවැසි නැත

Tuesday, July 5, 2022

හිම + සූර්‍ය + සූරියකාන්ත

හිම + සූර්‍ය +  සූරියකාන්ත



 


එකෝමත් එක රටක හිම පියල්ලක් තිබ්බා. සුදුම සුදුපාට හිම පියල්ලක්. කවදාවත් ඉර ඇහැ නොගැටුන හිම පියල්ලක්. එක දවසක ඉර ගැන ඉරේ උණුසුම ගැන, ඉර කොච්චර ආදරනීයද කියන එක ගැන කතාවක් හම්බුනා. ඉතින් ඒ කතාවෙන් පස්සෙ ඉර ගැන කතා හැම තැනම හොය හොය කියවන්න ගත්තා. ඉරට ආදරේ කරන්න ගත්තා. වසන්තය එනකන් බලන් හිටියා. 


වසන්තය එනකන් බලන් ඉදලා 5542035251 ගතවුනාට පස්සෙ කදුලු බිංදු 587423855645 කට පස්සෙ සුසුම් 5422587421155684 පස්සෙ නිදි නැතුව ගෙවපු දවස් 5841224217421587 පස්සෙ එයා තේරුම් ගත්තා එයා ඇත්තම ඇත්ත හිම පියල්ලක් කියලා.  ඉර දකින්නවත් ඉරට ආදරේ කරන්නවත් හිරු රශ්මියෙ නැහැවෙන්නවත් අයිතියක් නැ කියලා. හැමොම කියන සූරියකාන්ත මලට විතරයි ඉරට ආදරේ කරන්න පුලුවන් කියලා. ඉර හැරෙන හැරෙන පැත්තට හැරි හැරි ඉර විදින්න පුලුවන් කියලා. 


නැ මට ඕන ඉරට ආදරේ කරන්න. පුංචි හිමපියලි එයාටම කියා ගත්තා. 


ඒ ඉරේ රස්නෙන් ඔයා මැරිලා යයි. දියවෙලා යයි ඉරට ආදරේ කරනවා කියලා දැනගත්ත හැමෝම කීවා. 


සංස්කෘතිය, සදාචාරය ගැන ප්‍රශ්න කරා. හිම පියලකට අවසර තියෙන්නෙ හිම මිනිහෙක්ට එහෙම නැත්තම් හිම වලහෙක්ට ආදරේ කරන්න විතරයි හැමෝම කියුවා. 


ඒත් කවුද මේ සීමා දාන්නෙ. හිම පියල්ලට ඕන උනේ ඒ සීමා බිදින්න. ඉර එළියෙ සැනසෙන්න. ඒ රශ්මියෙ නැහැවෙන්න. පිච්චෙනවා කියලා දැන දැනත් ඉරට පූජාවෙන්න. 


සති පූජාව තියෙන්නෙ ඉන්දියාවෙ විතරයි අහලපහල අය හිනා උනා. 


සුදු කියන්නෙ පිවිතුරු බවේ පාට. සුදු පාටට බෑ රතු පාට ඉරට ආදරේ කරන්න. හිම පියලි පිවිතුරුයි. ඉර නපුරුයි. ඉරේ රැස් දරන්න බැ හිම පියළිවලට හැමෝම කිව්වා. 


ඒත් ඒ ඔක්කොම අස්සෙ හිම පියලි තීරණය කරා ඉරට ආදරේ කරන්න. 


සිසිර සෘතුවෙන් මීටර් දෙකයි තුන් කාලක් මෙහාට වෙන්න තියන වසන්ත සෘතුවට අඩිය තිබ්බා. ඔව් ඉර එක්ක ආදරෙන් බැදුනා. ඉරට ආදරේ කරන්න පටන් ගත්තා. එයා හිම පියල්ලක් කියන එක අමතකම වෙලා යන තරමට ආදරේ කරන්න ගත්තා. ඒත් හිම පියලි ඉරේ රැස්වලටම දිය වෙලා යමින් තිබ්බා. 


ඒ හිම පියලි දියවෙලා ගලන වතුරෙන් සූරියකාන්ත මල තවතවත් ලස්සනට වැඩුනා. ඉරේ පාට එතකොට ඉරේ "සූර්‍ය" කියන නම ඒ ඔක්කොම අයිතින් එක්ක සූරියකාන්ත මල හරිම ආඩම්බරෙන් හිනා උනා. හැමෝම සූරියකාන්ත මල අගේ කලා. හැමෝම ඉර ගැන කතා කරද්දි සූරියකාන්ත මල ගැනත් මතක් කරා.


හැමෝමට ඉරට තමන්ටත් වැඩියෙන් ආදරේ කරපු, වේදනාවක් බවත්, පිච්චෙනවා කියලා දැන දැනත් ඉර එක්ක ආදරෙන් බැදුනු හිම පියලි අමතක වෙලා ගියා. ඉරේ රැස්වලට දියවෙන්න දියවෙන්න ඉරත් හිමපියලි අමතක කරලා දැම්මා ටිකෙන් ටික. ටිකෙන් ටික.  


ඉර සූරියකාන්ත මල එක්ක ආයෙමත් ජීවත් වෙන්න පටන් ගත්තා. සදහටම.

Sunday, July 3, 2022

අපෙ දුව

අපෙ දුව





සින්ඩරෙල්ලාට මෙන්

සුදු අසෙක් පිට නැගපු

කුමරුවෙක් දුර ඇවිත්

කුමරියක් කරපු බව

නොකියාම සගවමුද 

අපේ මේ පොඩි දුවට


කාසීහ නම් ලබපු

ඒ මහා යක්ශයා

පරදවා හිර කරපු

රැජිනියන් හිටපු බව

කියා දෙමු හැම රෑම


ටින්කර් බෙල් හැම විටම

රැක ගත්ත පීටර් පෑන්

අවසානෙ පෙම් කලේ

වින්ඩි නම් කෙල්ලකට

බව කියා හිත හදමු 

හෙමි හෙමින් දැන් සිටම



පෙති හතක් ඇති මලක්

හම්බුනත් ශේන්‍යට

අවසාන පැතුම උව

පුද කලේ මිතු දමට


නිදි කුමරි කතාවද

නොකියවා සැග වුවද

කියා දෙමු අපි ඇයට

සෙනෙහසේ සිපගැනුම්

මායාමය වැලද ගැනීම්

තුල රැදුනු ඒ බලය


ටිකෙන් ටික අපි ඇයට

කියවන්න ඉඩ දෙමුද

ගුරුගීතෙ, පුශ්කින්ව

ගෝර්කිගෙ අම්මාව


එවිට ඇය යම් දිනක

දකිනු ඇත ලෝකයම

වඩ වඩා සුන්දරව



අන්න ඒ නිසා නුබ

හෙට එද්දි ගෙන එන්න

කොයියෝගෙ පොත් ටිකම

මට නෙමේ මතු දිනක

ඉපදෙනා අපෙ දුවට 😏