Tuesday, June 28, 2022

උදා හිරු එළිය නුබ

උදා හිරු එළිය නුබ




 උදා හිරු එළිය නුබ

සුබ සිතුම් පුබුදුවන

හැම විටම කදුලු සිඹ

සිනාවක් මට ගෙනෙන


රෑ අහසෙ තරුව නුබ

ජීවිතේ මග කියන

ලං වුනත් ලං නොවී

ඈතින්ම ඇවිද යන


වසත්කල වැස්ස නුබ

අවාරේ ඇදහැලෙන

හෙමි හෙමින් සිත තෙමා

වේදනා පුරෝලන


ලස්සනම කවිය නුබ

පද පේලි නොගැලපුන

නමුදු හැම අකුරකම

ආදරේ සුව දැනුන


මගෙ දිවියෙ සදයි නුබ

ප්‍රේමයෙන් මත් කරන

රාගයේ මාවතේ

කිසි දිනක හමු නොවන

Tuesday, June 21, 2022

 



මට රිදෙන හැම තැනම

පැලැස්තර අලෝගෙන

ගලන හැම කදුලක්ම

සිනාවක සගව ගෙන


මා දවන තනි කමත්

තනියෙන්ම දරාගෙන

හිදින්නම් අද මෙන්ම

හෙටත් මග බලාගෙන

Tuesday, June 14, 2022

ඇට්ටේරියා

 ඇට්ටේරියා




ආයෙමත් ඇට්ටේරියා මල් පිපිලා. සමහර මල් පෙති හැලිලා. සුදු පාවඩ එලලා වගේ. සුවද හැම තැනම. ඇට්ටේරියා කියන්නෙ මන් ආසම සුවදක්. පුංචි කාලෙ ඉදන්ම. මල් පිපීගෙන එන මුල් කාලෙ රෑට ඒ මල් සුවද ජනේලෙට තට්ටු කරන්නෙ හරි ආදරෙන්. ජනේලේ ඇරලා ආරාධනා කළා හෝ නොකළා හිමින් සැරේ කාබරේට රිංගන්නෙ අමුතුම හැගීමක් හිතට දීලා. පුංචි කාලෙ සුදු පාට පාවඩ වගේ තියන මල් පෙති උඩ ඇවිදින්නයි ඇට්ටේරියා අත්තක් හොලවලා ඒ මල් වැස්සෙ තෙමෙන්නයි ගොඩක් ආසා කරා. ඒත්  දැන් කාලෙ වෙනස් වෙලා. ඒත් ඒ මල් සුවද අදත් ඊයෙ වගේම ජනේලෙට තට්ටු කරනවා. ඉතින් මන් ජනේලෙ අරින්නද එපාද කියලා කල්පනා කරන්න කලින් දකුණු කම්මුලේ තියන  පුංචි කදුලු බිංදුවක් අතට ගන්නවා. හැමදාම දොරකඩම තියන ඇට්ටේරියා ගහේ මල් පිපෙන්නෙ මොන කාලෙටද  අවුරුද්දකට කී පාරක් පිපෙනවාද කියන එක මන් දන්නෙ නෑ. නැහැ ඒක හොයන්න ඕන කමක් නෑ. හැමදෙයක්ම අහම්බෙන් වෙනකොටයි ලස්සන. විදීමක් තියෙන්නෙ. මුල් කාලෙ රෑට විතරක් ඒ සුවද එද්දි ඇට්ටේරියා මල් පිපිලාද කියලා දැන ගන්න එන ඕන කම, වැරදිලා නහයට නැතත් මනසට ඒ සුවද දැනෙන දවස් නැතුවමත් නෙමේ.  

ඉතින් එදත් ඒ වගේ දවසක්. නොහිතපු මොහොතක ජනේලෙට තට්ටු කරනවා. විදින්න ආසා උනත් හදවතේ කැටිවුන බයත් එක්ක රෑ ජනේලෙ අරින්න මන් කල්පනා කරනවා. ඒත් ඒ සුවද විදින්න හදවත කියනවා. මන් ජනේලෙ අරිනවා. අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක. ඔව් වසන්ත කාලෙ පුරාම ඒ සුවද මාව ජීවත් කරවනවා, හුස්මත් එක්ක ජීවිතේ දෙනවා. හුස්ම කියන්නෙ ඒ මල් සුවද තැවරිලා එන ඔක්සිජන් විතරමයි කියලා විශ්වාසයක් ඇති කරවනවා. මල් පෙති උඩ මාව නලවනවා ඒත් ටික ටික ඒ මල් එකින් එක පරවෙනවා. ටිකෙන් ටික ඒ සුවද නැතිව හුස්ම ගන්න පුරුදු කරවලා මල් ටික හැලිලා යනවා. සුපුරුදු විදිහට මල් නැති ගහ දොරකඩ තනි රකිනවා. ඉදහිටක මලක් පිපෙනවා. මන් බලෙන් ඒ මල නහයට ලං කරලා සුවද විදිනවා. සමහර වෙලාවට මන් ආදරේ වැඩි කමට ඉබිද්දි පෙත්තක් දෙකක් හැලෙනවා. මන් දන්නෙ නෑ ආයෙ කවදා මල් පිපෙයිද කියලා. ආයෙ කවදාවත්ම කලින් වගේ ගහ පිරෙන්නම මල් නොපිපෙයිද කියන්නවත් මන් දන්නෙ නෑ. ඒත් මන් බලන් ඉන්නවා.

Saturday, June 11, 2022

එකෝමත් එක කතාවක්

  එකෝමත් එක රටක හිම පියල්ලක් තිබ්බා. සුදුම සුදුපාට හිම පියල්ලක්. කවදාවත් ඉර ඇහැ නොගැටුන හිම පියල්ලක්. එක දවසක ඉර ගැන ඉරේ උණුසුම ගැන, ඉර කොච්චර ආදරනීයද කියන එක ගැන කතාවක් හම්බුනා. ඉතින් ඒ කතාවෙන් පස්සෙ ඉර ගැන කතා හැම තැනම හොය හොය කියවන්න ගත්තා. ඉරට ආදරේ කරන්න ගත්තා. වසන්තය එනකන් බලන් හිටියා.

වසන්තය එනකන් බලන් ඉදලා 5616150005431 දවසක් ගත වුනාට පස්සෙ කදුලු බිංදු 605224733672224 කට පස්සෙ සුසුම් 7852369522654553 පස්සෙ නිදි නැතුව ගෙවපු දවස් 8226823.0476324228 පස්සෙ එයා තේරුම් ගත්තා එයා ඇත්තම ඇත්ත හිම පියල්ලක් කියලා. ඉර දකින්නවත් ඉරට ආදරේ කරන්නවත් හිරු රශ්මියෙ නැහැවෙන්නවත් අයිතියක් නැ කියලා. හැමොම කියන සූරියකාන්ත මලට විතරයි ඉරට ආදරේ කරන්න පුලුවන් කියලා. ඉර හැරෙන හැරෙන පැත්තට හැරි හැරි ඉර විදින්න පුලුවන් කියලා.
නැ මට ඕන ඉරට ආදරේ කරන්න. පුංචි හිමපියලි එයාටම කියා ගත්තා.
ඒ ඉරේ රස්නෙන් ඔයා මැරිලා යයි. දියවෙලා යයි ඉරට ආදරේ කරනවා කියලා දැනගත්ත හැමෝම කීවා.
සංස්කෘතිය, සදාචාරය ගැන ප්රශ්න කරා. හිම පියලකට අවසර තියෙන්නෙ හිම මිනිහෙක්ට එහෙම නැත්තම් හිම වලහෙක්ට ආදරේ කරන්න විතරයි හැමෝම කියුවා.
ඒත් කවුද මේ සීමා දාන්නෙ. හිම පියල්ලට ඕන උනේ ඒ සීමා බිදින්න. ඉර එළියෙ සැනසෙන්න. ඒ රශ්මියෙ නැහැවෙන්න. පිච්චෙනවා කියලා දැන දැනත් ඉරට පූජාවෙන්න.
සති පූජාව තියෙන්නෙ ඉන්දියාවෙ විතරයි අහලපහල අය හිනා උනා.
සුදු කියන්නෙ පිවිතුරු බවේ පාට. සුදු පාටට බෑ රතු පාට ඉරට ආදරේ කරන්න. හිම පියලි පිවිතුරුයි. ඉර නපුරුයි. ඉරේ රැස් දරන්න බැ හිම පියළිවලට හැමෝම කිව්වා.
ඒත් ඒ ඔක්කොම අස්සෙ හිම පියලි තීරණය කරා ඉරට ආදරේ කරන්න.
සිසිර සෘතුවෙන් මීටර් දෙකයි තුන් කාලක් මෙහාට වෙන්න තියන වසන්ත සෘතුවට අඩිය තිබ්බා. ඔව් ඉර එක්ක ආදරෙන් බැදුනා. ඉරට ආදරේ කරන්න පටන් ගත්තා. එයා හිම පියල්ලක් කියන එක අමතකම වෙලා යන තරමට ආදරේ කරන්න ගත්තා. ඒත් හිම පියලි ඉරේ රැස්වලටම දිය වෙලා යමින් තිබ්බා.
ඒ හිම පියලි දියවෙලා ගලන වතුරෙන් සූරියකාන්ත මල තවතවත් ලස්සනට වැඩුනා. ඉරේ පාට එතකොට ඉරේ "සූර්ය" කියන නම ඒ ඔක්කොම අයිතින් එක්ක සූරියකාන්ත මල හරිම ආඩම්බරෙන් හිනා උනා. හැමෝම සූරියකාන්ත මල අගේ කලා. හැමෝම ඉර ගැන කතා කරද්දි සූරියකාන්ත මල ගැනත් මතක් කරා.
හැමෝමට ඉරට තමන්ටත් වැඩියෙන් ආදරේ කරපු, වේදනාවක් බවත්, පිච්චෙනවා කියලා දැන දැනත් ඉර එක්ක ආදරෙන් බැදුනු හිම පියලි අමතක වෙලා ගියා. ඉරේ රැස්වලට දියවෙන්න දියවෙන්න ඉරත් හිමපියලි අමතක කරලා දැම්මා ටිකෙන් ටික. ටිකෙන් ටික.
ඉර සූරියකාන්ත මල එක්ක ආයෙමත් ජීවත් වෙන්න පටන් ගත්තා. සදහටම.