Tuesday, June 14, 2022

ඇට්ටේරියා

 ඇට්ටේරියා




ආයෙමත් ඇට්ටේරියා මල් පිපිලා. සමහර මල් පෙති හැලිලා. සුදු පාවඩ එලලා වගේ. සුවද හැම තැනම. ඇට්ටේරියා කියන්නෙ මන් ආසම සුවදක්. පුංචි කාලෙ ඉදන්ම. මල් පිපීගෙන එන මුල් කාලෙ රෑට ඒ මල් සුවද ජනේලෙට තට්ටු කරන්නෙ හරි ආදරෙන්. ජනේලේ ඇරලා ආරාධනා කළා හෝ නොකළා හිමින් සැරේ කාබරේට රිංගන්නෙ අමුතුම හැගීමක් හිතට දීලා. පුංචි කාලෙ සුදු පාට පාවඩ වගේ තියන මල් පෙති උඩ ඇවිදින්නයි ඇට්ටේරියා අත්තක් හොලවලා ඒ මල් වැස්සෙ තෙමෙන්නයි ගොඩක් ආසා කරා. ඒත්  දැන් කාලෙ වෙනස් වෙලා. ඒත් ඒ මල් සුවද අදත් ඊයෙ වගේම ජනේලෙට තට්ටු කරනවා. ඉතින් මන් ජනේලෙ අරින්නද එපාද කියලා කල්පනා කරන්න කලින් දකුණු කම්මුලේ තියන  පුංචි කදුලු බිංදුවක් අතට ගන්නවා. හැමදාම දොරකඩම තියන ඇට්ටේරියා ගහේ මල් පිපෙන්නෙ මොන කාලෙටද  අවුරුද්දකට කී පාරක් පිපෙනවාද කියන එක මන් දන්නෙ නෑ. නැහැ ඒක හොයන්න ඕන කමක් නෑ. හැමදෙයක්ම අහම්බෙන් වෙනකොටයි ලස්සන. විදීමක් තියෙන්නෙ. මුල් කාලෙ රෑට විතරක් ඒ සුවද එද්දි ඇට්ටේරියා මල් පිපිලාද කියලා දැන ගන්න එන ඕන කම, වැරදිලා නහයට නැතත් මනසට ඒ සුවද දැනෙන දවස් නැතුවමත් නෙමේ.  

ඉතින් එදත් ඒ වගේ දවසක්. නොහිතපු මොහොතක ජනේලෙට තට්ටු කරනවා. විදින්න ආසා උනත් හදවතේ කැටිවුන බයත් එක්ක රෑ ජනේලෙ අරින්න මන් කල්පනා කරනවා. ඒත් ඒ සුවද විදින්න හදවත කියනවා. මන් ජනේලෙ අරිනවා. අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක. ඔව් වසන්ත කාලෙ පුරාම ඒ සුවද මාව ජීවත් කරවනවා, හුස්මත් එක්ක ජීවිතේ දෙනවා. හුස්ම කියන්නෙ ඒ මල් සුවද තැවරිලා එන ඔක්සිජන් විතරමයි කියලා විශ්වාසයක් ඇති කරවනවා. මල් පෙති උඩ මාව නලවනවා ඒත් ටික ටික ඒ මල් එකින් එක පරවෙනවා. ටිකෙන් ටික ඒ සුවද නැතිව හුස්ම ගන්න පුරුදු කරවලා මල් ටික හැලිලා යනවා. සුපුරුදු විදිහට මල් නැති ගහ දොරකඩ තනි රකිනවා. ඉදහිටක මලක් පිපෙනවා. මන් බලෙන් ඒ මල නහයට ලං කරලා සුවද විදිනවා. සමහර වෙලාවට මන් ආදරේ වැඩි කමට ඉබිද්දි පෙත්තක් දෙකක් හැලෙනවා. මන් දන්නෙ නෑ ආයෙ කවදා මල් පිපෙයිද කියලා. ආයෙ කවදාවත්ම කලින් වගේ ගහ පිරෙන්නම මල් නොපිපෙයිද කියන්නවත් මන් දන්නෙ නෑ. ඒත් මන් බලන් ඉන්නවා.

No comments:

Post a Comment