Sunday, March 26, 2023

කවිය

 මා හිතේ මා ගතේ වේදනා දුරලන්න 

උදෑසන හිරු එලිය වගේ මා පුබුදන්න 

රෑ කාලෙ සද වෙලා ඔය පෙමින් නලවන්න

ඉතින් මා සුපෙම්වත කවියක්ව ලග ඉන්න


ඇතැම් පද නොගැලපෙන නමුත් ගලපා ගන්න

විරිත් වරදින තැනක වරද පහදා දෙන්න 

අකුරු දොස් ඇති තැනක් දුටු තැනම පෙන්වන්න 

පෙර වගෙම හෙට දිනත් කවියෙක්ව ලග ඉන්න



Wednesday, January 11, 2023

 කතාවක් තිබිය යුතු පොතක් මත පමණමද? 

තනුවකුත් යෙදිය යුතු කවියකට විතරමද?

අපි අපේ කීව හැකි නිහඩවම පමණමද?

හදවතක් රැකිය යුතු බිරිදක්ව විතරමද?



Wednesday, January 4, 2023

මන් ආසම මල් අතර මුල් තැනක් දෙන්න පුලුවන් මලක් තමයි මිමෝසා මල්. ඔව් මිමෝසා මල්. එහෙම නැත්තම් නිදි කුම්බා මල. ඒත් මන් එහෙම ලේසියකට නිදි කුම්බා කියන නම පාවිච්චි කරන්නේ නෑ. මන්දා මට ඒකෙ මොකක් හරි නොගැලපීමක් දැනෙනවා. ඒ තරම් සෞන්දර්යාත්මක ගහකට ඇයි එච්චර කැත නමක් දැම්මෙ කියන එක. ලස්සන කැත එක එක්කෙනාට සාපේක්ෂ හන්දා ඒක හරිම කැත  නොගැලපෙන නමක් කියලා පේන්නෙ මට විතරක් වෙන්න පුලුවන්.  ඒත් ඒ නමට මම කැමති නෑ. මන් ලෑස්ති වුනේ නම් මිමෝසා ගැන කියන්න නෙමේ. ඒත් මේක පටන් ගන්න ඒ තරම් ලස්සන ගැලපෙන තැනක් මට හොයා ගන්න මට බැරි වුනා.
එයා එක්ක ඔහේ කියවන කාලෙ, මුලක් මැදක් අගක් නැතිව ඉබේම කියවෙච්ච කාලෙ මන් ලෝකෙ දකින විදිහ මට පේන විදිහ එයා එක්ක බෙදා ගත්තු කාලෙ එයා ලෝකෙ දකින විදිහ මට කියලා දීපු කාලෙ මල් ගැනත් අපි කතා කරා. ඔව් මන් කීවා මන් කැමති නෑ මල්වලට වැඩිය කියලා. ඒත් සූරිය කාන්ත් මල්වලට, මිමෝසා මල්වලට මන් ආසයි කියලා.

අන්න එහෙමයි මේ කතාව පටන් ගන්න ඕන. මන් ඇත්තටම නිදි කුම්බා කියන නමට කොච්චර අකමැතිද කියන එක කියද්දි එයාගෙ කිව්වෙ '' ලන්කාවෙ කුරුල්ලන්ගෙ නම් බලන්න. ඔයාට දුක හිතෙයි'' කියන එක. අන්න එදාම මම තීරනය කළා ලන්කාවෙ ඒකදේශීය කුරුල්ලො ගැන නම් හොයා බලන්නෙ නෑමයි කියලා. පහ වසෙ ශිෂ්‍යත්වෙට කට පාඩම් කරපු කුරුල්ලන්ගෙ නමුත් මගෙ වාසනාවට මට අමතක වෙලා ගිහින්. කොහොමත් ලොකුවට කුරුල්ලො ගැන උනන්දුවක් මගෙ තිබ්බෙ නෑ. කුරුල්ලො දිහා බලන් හිටපු වෙලාවල්, උන් හවසට පියාඹනවා බලාගෙන හිටපු වෙලාවල් තිබ්බා උනත් මන් කුරුල්ලො බලන්නම කියලා හිතාගෙන පොඩි කාලෙන් පස්සෙ එළියට බැහැපු දවස් ඇත්තෙ අතෙ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන් වෙන්න ඇති.

ඕකත් නෙමේ කියන්න ඕන වුනේ.

මට කියන්න ඕන වුනේ කුරුල්ලො ගැන.

ලන්කාවට ආවේනික වුන ඒකදේශික කුරුල්ලො ඕන තරම් ඉන්නවා. දකින්න නම් අමාරුයි තමයි ඒත් ඉන්නවා. එතකොට අපි ගෙයින් එළියට බැස්සහම අපිට පේන හම්බෙන කුරුල්ලොත් ඕන තරම්. හැමදාම අපිට පේන්න ඉන්න කුරුල්ලෙක් දකින එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා. කවුරුත් කාටවත් වැරදිලාවත් අපි නිතර දකින කපුටෙක් පෙන්නන්නෙ නෑ. අන්න බලන්න ලස්සන කපුටෙක් ඉන්නවා කියලා. නැත්තම් පරවියෙක්, දෙමලිච්චෙක් මයිනෙක්වවත්.

ඒත් අන්න ඒ කපුටවම හෝටන් තැන්නෙදි දවසක් පෙන්නවා අන්න කපුටෙක් හෝටන් තැන්නෙ කියලා. කපුටා ඉන්නෙ දූෂණය උණ පරිසර පද්ධතිවල, හෝටන් තැන්නෙ කපුටෙක් ඉන්න එක සුබ දෙයක් නෙමේ ඉස්සර නම් හිටියෙ නෑ කියලා.

අන්න ඒ එකම කපුටට පරිසරයන් දෙකක් ඇතුළෙ සළකීම් ලැබෙන්නෙ  හහස දෙවිදිහකට. දූෂණය වුන පරිසරය ඇතුළෙ කපුටා විශේෂ වුනේ නැතුවට දූෂණ වුන පරිසරය හැකි උපරිමයෙන් පිරිසිදු කරන්නෙ අන්න ඒ කපුටා. දූෂණ නොවුන පරිසරයක අන්න ඒ කපුටා දූෂණයේ පණිවිඩය ගේනවාලු. අන්න එතනදියි අපිට කපුටාව පේන්නෙ.

ඒකදේශීය පක්ශීන්ට උණත් සාමාන්‍ය කුරුල්ලන්ට නොලැබෙන පුන්චි වටිනාකකමක් ලැබුනත් එහෙම ලොකු විශේෂත්වයක් දක්වනවා පේන්න නැහැ සමාජයෙන්.

ඒත් සන්චාරක පක්ශියෙක්ට නම් නොසිතූ විරූ පිළිගැනීමක් ලැබෙනවා. සමහර කාලාවල මාධ්‍යවලින් පවා ආවරණය කරන අවස්ථා නැතිවම නෙමේ. හැබැයි අපිට අමතක වෙනවා ඒ ආවෙ සන්චාරක පක්ශියෙක් කියලා.

අපිත් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට ගෙවන්න ආව කෙනෙක් නෙමේ නිකන්ම නිකන් සන්චාරකයෙක් කියන එක. එයාගෙ සන්චාරයේ පරමාර්ථය මොකක් වුනත් එයා සන්චාරය ඉවර වුනාම ආපහු ගම් බිම් බලා යයි. සමහර විට එයාලගෙ පලාතෙ වසන්තය ඉවර වුනාම එන සීතල දරා ගන්න බැරිව පැනලා ආව කුරුල්ලෙක් වෙන්නත් බැරි නැහැ. එහෙම එක පාරක් පැනලා ආව කුරුල්ලෙක් අපිත් එක්ක අපේ සීතල කාල දරාගෙන ඉදියි කියලා හිතන්නත් අමාරුයි. ඉතින් අපි මතක තියා ගන්න ඕන එයා සන්චාරක කුරුල්ලෙක් කියන එක. එයාගෙ ජීවිතේ එක සෘතුවක් අපි එක්ක ගෙවන්න ආවාට ජීවිතේම ගෙවන්න ආවෙ නැහැ කියන එක.

යන හදද්දි යන්න දෙන්න ඕන තරමට බැදීම් හදාගෙන ඒ කුරුල්ලා හන්දා හැමදාම වටේ හිටපු කුරුල්ලො ටික අත ඇරගන්නෙ නැතිව ජීවත් වෙන්න.

අන්න එතකොට එයත් සතුටින් ඔයත් සතුටින් වටේ අයත් සතුටින්




Sunday, October 23, 2022

නුබ

නුබ




තරහ වී හඩන විට උහිස්සේ සතපන්න
මගේ පෙම් කතාවක පෙර අපර ගලපන්න
නිදි නැතිව ගෙවපු රෑ එකින් එක ගැන ගන්න
නුබට මෙන් කිසිවෙකුට හැකිවේද ලග ඉන්න

මහ නපුරු හීනයක අතර මැද ඇහැරන්න
තනිකමක් දැනෙන විට ලගට ගෙන සනසන්න
වැඩියෙන්ම මා ඇඩවු පොතේ තතු දැන ගන්න
හැමදාම මා ලගට වී තුරුලෙ නිදි යන්න

මගෙ මුරණ්ඩුම වැඩත් නිහඩවම ඉවසන්න
පුලුන් පිරවූ හදක් ඔබට ඇත මට දෙන්න
දකුණු පස කෙලවරක ඇදේ ගුලිවී නිදන
නුබට මෙන් කිසිවෙකුට හැකිද මා කියවන්න

අසනීප වූ විටක සෙමෙන් මා සිප ගන්න
කදුලු වැල් ගිලිහෙනා විටදි එය සගවන්න
සිනාසී මගෙ මුවේ සිනා වැල් අලවන්න
හැකිවේද නුබටවත් හැර නොයා ලග ඉන්න


ඔහු ලගක නැති දාත් කදුලු පිසදා ගන්න
පුලුන් පිරවූ අතින් මට ටිකක් ඉඩ දෙන්න
තනිකමින් හිත වෙලී ඉකි බිදින රෑ යාමෙ
මුලු ලොවෙන් සගවාන ඔය තුරුලෙ සනසන්න

කනාමැදිරින් සොයා රෑ යාමෙ තනි මකන
නිදි වරා කියන දේ හොදින් අහ ගෙන ඉන්න
හැමදාම හිත පුරා නුබ තියා නුබ රකින
දුඹුරු පැහැ ටෙඩියෙක්ට නුබේ හදවත දෙන්න

Sunday, October 16, 2022

ට්‍රයිඩැක්ස්

ට්‍රයිඩැක්ස් 




හරියට නමක් ගමක් උප්පැන්නයක් නැති මල් ගස් හරි අපූරුවට ගෙවත්ත ලස්සන කරනවා. සමහර විට ඒක මල් ගහක් කියලා අපිම දන්නෙ නැතිව ඒකත් වල් පැලෑටියක් කියන ගොඩට දාලා තියනවා ඇති. හරියට මිමෝසා වගේ. අනිත් ගස්වලට වගේ කිසිම සාත්තුවක් නැතිව ඔහේ හැදෙන ගස් සමහර විට ඉබේ වදවෙලා යාවි. එහෙමත් නැත්තම් අපිම වද කරලා දාවි. කොහොම වුනත් වෙන්නෙ අපිට, අපේ ගෙවත්තට ඒක නැති වෙන එක විතරයි.එක දවසක් නින්දෙන් ඇහැරලා එළියට බැහැලා නිකමට වුවමනාවෙන් වට පිට බැලුවහම කොච්චර ලස්සන ලොකු මල් වත්තක් ගෙදර හදාන තිබ්බත් මොකක්දෝ අඩුවක් දැනෙයි. එතකොට අපි පරක්කු වැඩි වෙයි. ඒ මල් ගහ, එහෙම නැත්තම් වල් ගහ සදහටම අපෙන් සමු අරන් තියෙන්න පුලුවන්. හරියට බාලොලියා වගේ නැත්තම් ට්‍රයිඩැක්ස් වගේ.


පොඩ්ඩක් ඉන්න ට්‍රයිඩැක්ස්! ඒ තරම් ලස්සන නමක් තියන මලක් කොහොමද වද වෙලා ගියෙ. ඒ තරම් ලස්සන නමක්. ට්‍රයිඩැක්ස් නම වගේම මලත් ලස්සනයි මට නම්. 


ඉස්සර ට්‍රයිඩැක්ස් පිපුනම මට හිතෙන්නෙ ලස්සන සුරංගනා ලෝකෙක ඇවිදිනවා වගේ හැගීමක්. ඔව් මං ආසයි ඒක උඩ ඇවිදින්න. මල් පෑගෙන්නෙ නැති වෙන්න. ඒත් කිසිම මලක් මට පෑගුනේ නැහැ කියන්න බෑ. ඒත් මං ආසයි පුංචි පුංචි මල් පිපිලා තියන සුරංගනා ලෝකයක් මැද්දෙන් යනවා වගේ දැනෙන ඒ හැගීමට. මට හිතෙනවා එතකොට ඇලිස්ගේ විස්මලන්තෙ කතාවෙ ඉන්න ඇලිස් මම කියලා. අර ලොකු වෙන බිස්කට් එක කාලා මම ලොකු වෙලා. පුංචි පුංචි ගස් මට පහළින්. සිහින කල්පනා නම් මවන්න කාට කොහොම බැරිද.


මට මතක නැහැ ඇත්තටම මම වයස කීය වෙනකන් ඒ මල් උඩ ඇවිද්දද කියලා..සමහර විට ඒ පහ වසර වගේ වෙන්න ඇති. 


අපේ ගෙදරදි විතරක් නෙමේ ඕන තැනක මම ට්‍රයිඩැක්ස් දැක්කොත් ඒක උඩ ඇවිද්දා. ඒ මල් යාය උඩ. ඔව් ඒක මල් යායක් වගේ පිපෙනවා. හරිම ලස්සනට. 



ඒ ළමයට පිස්සුද ඒ ළමයාගෙ ගෙදර විතරක් නම් කමක් නෑ පිට ගෙවල්වලත් ගිහින් මල් යායවල් පාගලා. ඒ ළමයාගෙ දෙමව්පියො ඒක එපා කියලා නැද්ද කියන ප්‍රශ්නෙත් එන්න පුලුවන්. 


නෑ එපා කියලා නෑ. කොහෙදිවත්. මොකද ඒක පුංචිම පුංචි වල් පැලයක්. මලක් හැදෙන. වල් පැල පෑගුවට අඩුම තරමෙ ගලවලා විසික් කරත් කවුරුත් මොකුත්ම කියන්නෙ නෑ. අඩුම තරමෙ ඒ කාලෙ මම ඒ මලට කියන නමවත් දැන ගෙන හිටියෙ නෑ. ඒ නැතත් ඒ මලට නමක් තියනවාද කියන එක වත්. ඇයි නමක් නැති මලක් තියෙන්න බැයිද?


කාලෙත් එක්ක හැමදේම වෙනස් වුනා. ඉස්සර මිදුලෙ තණකොල වැවෙන්න නොදී තණකොල අයින් කරා. වැලි පේන්න. ඒත් දැන් තණකොල පිටරටින් අරං ඇවිත් වවනවා. මේ අතර ගෙවුණු කාලෙ කොතනකදි හරි ට්‍රයිඩැක්ස් මල් මගෙ ඇස් මායිමෙන් යන්නම යන්න ගිහින්. පුංචි කාලෙ එච්චර ආදරේ කරපු මල මම අන්තිමට දැක්කෙ කොහෙදිද කියන්නවත් මට මතක නෑ. හරියට මං එක දවසක් උදේ නැකිටිද්දි ඒ හැමදේම එක පාරට නැතිවෙලා ගිහින් වගේ. 


මට මේ වෙලාවෙ ඕන ඔයාට තුරුල් වෙන්න. ඔව් එදා වගේ. ට්‍රයිඩැක්ස් ලෝකෙට අමතක වුණේ ඒකෙ නම මිනිස්සු දන්නෙ නැති හන්දද එහෙම නැත්තම් ඒක වල් පැලයක් කියලා මිනිස්සු නම් කරපු හන්දද කියලා අහන්න.


ඒත් මට ඕන දවසක මගේ ගෙදරක තණකොළ වෙනුවට ට්‍රයිඩැක්ස් හිටවන්න. ඒකෙ මල් පිපුණහම ඔයාගෙ අතින් අල්ලන් ඒක උඩ ඇවිදින්න. ඇස් වහගෙන ඒ හැගීම, එහෙම නැත්තම් ඒ විදීම මොකක් හරි එක ඔයත් එක්ක විදින්න. 

සමහර විට පිනි වැටිලා තියෙයි. එතකොට ඒ කකුලට දැනෙන සීතල සීතල ඔයාගෙ තොල් උඩට මාරු කරන්න. ඔව් ඒ මල් යාය මැද්දෙ හිටගෙන වත්ත පුරා එල්ලපු වින්ඩ් චර්ම්ස් වල සද්දෙ අස්සෙන් හරිම සීතල හාදුවක් ඔයා එක්ක බෙදා ගන්න. ඊට පස්සෙ කනට කරලා මං ඔයාට ආදරෙයි කියන්න. ඔයා මට ආදරෙනෙ බබී. ඔයා මගෙ මලනෙ කියනකන් ඔයාගෙ ඇස්  දෙකේ පැටලිලා ඉන්න. අන්න එතකොට හිතන්න දෙයක් නෑ මං ඉන්නෙ සුරංගනා ලෝකෙ.

Sunday, October 9, 2022

ටෙඩියෙක්ට

ටෙඩියෙක්



මගේ සතුටෙදි දරා ඉන්නට

වැටෙන කදුලක් සගව ගන්නට

තනි කමේදිත් තුරුල් වන්නට

නුබ සිටී මට සැම දිනේදිම


පාලු රෑකදි හොරෙන් 

හාදු පොදි තවරන්න

මදුරු ගුමු ගුමුව මැද 

සනීපෙට සැතපෙන්න


උහිස්සක් අවැසි කල 

උරහිසම මට දෙන්න

ගිලිහෙනා කදුලු වැල් 

එකින් එක පිසදන්න


නිමාවක් නැති කතා 

හැමදේම ඉවසන්න

හිත බැදුනු හිත රිදුනු 

තැන් මගෙන් දැන ගන්න


මැදියමේදිත් හොදින් 

පොරෝනා සකසන්න

පාලු මූසල රැයක 

තනි නොකර ලග ඉන්න



නිදි නොමැති රෑවලත් 

තුරුලේම සනසන්න

හැමදාම නුබ සිටන 

බව දනී පෙර මෙන්ම


ඉදහිටක මගෙ බැනුම් 

සමාවී ඉවසගෙන

කෝපි පැහැ ඇස්වලින් 

සිනා සී ලග ඉන්න



බිය වෙලා ඇහැරිච්ච 

රෑකදිත් තනි මකන

"මං මෙතන නිදියන්න"

මුමුණනා ටෙඩියෙක්ට

තරම් පෙම් කළ හැකිද

කිසිදාක කිසිවෙක්ට?









Sunday, October 2, 2022

වැස්ස

වැස්ස



ඇහෙනවාද .... අද උදේ ඉදන්ම මට අහන්න ඕන වුන සද්දෙ. නෑ ඒක සද්දයක් නෙමේ. නිශ්ෂබ්ධකමක්. ඔව් වැහි බිංදු එකින් එක වහලෙට, එහෙම නැත්තම් පීල්ල දිගේ බිමට, අඩුම කොලින් කොලේකට වැටෙන සද්දෙ නැවතිලා පායලා කියලා දැනෙන සද්දෙට. නෑ සද්දෙට නෙමේ නිශ්ෂබ්ධකමට. නිෂ්ශබ්ධකමත් හරි අමුතු සද්දයක් නේද බබා.


මං ඉස්සරම ඉස්සර වැස්සට ආදරේ කළා. හුගාක්ම ඉස්සර. පහු පහු වෙද්දි වැස්ස එන්න කළින් අන්දකාරෙන් පරිසරයම වෙලා ගන්නවා තරම් ඉක්මනට ඒ වැහි අදුර මගෙ ජීවිතේටත් එඹිලා බලන්න ගත්තා. ඔයා දන්නවානෙ. ඉස්සර මට ඕන වුනේ වහිද්දි කොහෙ හරි මුල්ලක ලෝකෙන්ම හැංගිලා පාඩුවෙ දුක් වෙන්න. එක්කො ඇදට වෙලා කල්පනා කරන්න. පුරුද්දට  වැස්ස දිහා බලන් දුක් වුන කාලයක් තිබ්බා. ඉස්සර වගේ වැස්ස බලන පුරුද්ද තිබ්බත් ඒ වැටෙන වැහි පොදවලට වඩා වේගෙන් කදුලු මගේ හදවතේ ගැලුවා. සමහර වෙලාවට එක දෙකක් ඇස්වලින් බේරිලා කම්මුල සිපගත්තා. ඒ කාලෙ ගෙවිලා ගිහින් වසන්තය අරං ඔයා ආවම ඒ හැගීම වෙනස් කළා. හරි අපූරුවට 


ඔව් මං ආයෙම ඉස්සර වගේ වැස්සට ආදරේ කරන්න ගත්තා.  ඔව් වැස්ස දිහා ආදරෙන් බලන්න ගත්තා. වැහි බිංදු වැටිලා හේදිලා ගිය බිම්, මතුවෙච්ච වල ගොඩැලි, ගං වතුර වෙනුවට දූවිලි හේදිලා ගිය ගස් කොලම කොල පාටින් හිනා වෙන හැටි, අලුත් පනක් අරං වගේ ප්‍රබෝධමත් පරිසරය පේන්න ගත්තා. ඉස්සර මට ඕන වුනේ පාලු බංකුවක තෙමි තෙමි ඉදගෙන පාර දිහා බලන් ඉන්න තනියම. ඒත් දැන් මට ඕන වුනේ වැස්සට පැනලා නටන්න, ඔයා එක්ක වැස්සෙ තෙමෙන්නෙ, වැහි වතුර බේරෙද්දි ඔයාව ඉබින්න, තෙමි තෙමි බයික් එකේ යන්න. 


ඒත් ඒ ප්‍රහර්ශයම අරගෙන ආව වැස්ස ආයෙ ආයෙම මාව අවුල් කරනවා. මට විදින්න තිබ්බ තැන් අහුරලා දානවා. මාව අඩවනවා. මට මහ පාලු හැගීමක් අරං එනවා. අපේ හමුවීම්වලට හැම තිස්සෙම බාධා කරනවා. 


එක දවසක් නම් සමාව දීලා අමතක කරන්න තිබ්බා බබා. ඒත් එයා අවුල් කරන්නෙ අපේ දවස් . හොදට හිතලා ඒක කරන්නෙ. 


මං හිතන්නෙ වැස්ස ඔයාට ආදරේ කරනවා බබා. වැස්ස ආසයි ඔයාව විදින්න, ඔයාට එයාව විදින්න දෙන්න. අන්න ඒකයි හැම තිස්සෙම ආදණීය වැස්සකින් ඔයාව තෙමන්නෙ. අපේ හමුවීමවලට වැට බදින්නෙ