Friday, May 20, 2016

ඔයා වැරදියි අල්තීනායි

ඔයා වැරදියි අල්තීනායි



ඔව් ඔයා වැරදියි අල්තීනායි
දැක්ක ගමන් දුල්ශෙයින්ට 
පිදුවට උබේ හදවත
උඹ වැරදියි

උණුසුම් කරන්න දුල්ශෙයින්ගෙ ඉස්කෝලෙ
වියලිච්ච ගොම ගෙනත් දීලා
ගෙදරින් දඩුවම් විදපු 
උඹයි වැරදි

කෙල්ලෙක්ගෙ සියුමැලි කකුලකට
දරන්න බැරි තරම් සීතල වතුරෙ බැහැගෙන
දුල්ශෙයින් එක්ක ඉස්කෝලෙට පාර හදපු
උඹයි මෙතන වැරදි

දුල්ශෙයින් උගන්නපු අකුරු
බොහොම හොදින් මතක තියාන
නගරෙට ගිහින් අකුරු අහුලපු
උඹයි වැරදි

දුල්ශෙයින්ගෙන් ආදරේ ඉල්ලලා
ලියුමක් යවපු උඹයි වැරදි
ඒකට උත්තර නොදීපු
දුල්ශෙයින් නෙමේ 
උඹයි වැරදි

මනුස්සයෙක්ට ආදරේ නොකර
දෙවියෙක්ට ආදරේ කරපු 
උඹයි මෙතන වරදි
දුල්ශෙයින් දෙවියෙක්
ඒත් මනුස්සයෙක් නෙමෙයි
දෙවියන්ට තේරෙන්න නෑ
ගැහැණියකට ආදරේ කරන්න 

Tuesday, May 17, 2016

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න



ඇවිද ගියත් ඔබෙ අත ගෙන සයිබර් මාවත පුරාම
නොහැකි වෙලා මට පුදන්න නුබෙ ඔය බැල්මන් ආදර
එකතු වෙලා ඇවිද්ද දුර දැන් හොදටම වැඩියි නේද?
පවසන්න එපා මෙහෙම තවදුරටත් රිද්ද රිද්ද

එකතු වෙලා ආපු දුරේ මතක ගොන්න වැඩියි නේද?
ඒ හන්දා ඔබෙ මතකයෙ මන් නැවතිලා ඉදියි නේද?
මගෙ හදවත නගන ඉකිය ඔබෙ සවනට ඇසෙන් නැද්ද?
ඔහොම බලන් ඉන්නෙ මා තනිකර යන්න නොවෙද?

කොහොම ඇවිද යන්නද මන් තනියම මේ මාවතෙ?
පාර පුරා හැම තැනකම සයිබර් හොරු වැඩියි නේද?
මන් තනියම ගියොතින් හෙම මට කරදර කරයි නේද?
ඉතින් අනේ මගෙත් එක්ක ඉතුරු ටිකත් යන්න එන්න

ඔයාගෙ ඔය හදවත කවුද දන්නෙ මන් තරමට
නපුරුකමත් මන් දන්නවා හැන්ගිලා ඇති ඔයා ගාව
ඕනා නම් හැකිවේ මට පොතක් වුනත් ඔබ ගැන ලියන්න
හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න


Sunday, May 8, 2016

කුමක් කරමුද ඔබේ මතකෙට?

 කුමක් කරමුද  ඔබේ මතකෙට? 



නෙතින් වෑහෙන කදුළු බිදුවක
අස්සෙ සැගවී ඉන්න මතකය
දමා වීසිකර පොළව මතටම
හිරුට දෙමු සිප ගන්න රහසෙම

හිරුට දුන්නත් මගේ මතකය
රශ්මියේ දවටා එවයි නම් මට
යලිත් සිප ගන්නවා මිස මම
පලා යන්නද දමා තනිකර

මතකයන් ටික හොදින් ගුලි කර
මුහුද වෙත ගොස් දමා එන්නද?
මුහුදෙ රැළි හා එක්ක සටනට
යන්න හැකිවෙද අපේ මතකෙට

රැගෙන ගොස් කදු මුදුනකට මම
තල්ලු කර දමා ආවොතින් හෙම
මිතුරු වී සැඩ සුලග  එක්කල
යලිත් ඒවි ද මා සොයා ගෙන

පවසන්න මට කුමක් කරමුද?
මාව පෙලනා ඔබේ මතකෙට
සූර සූරා මගේ හදවත
බොහෝ දුක් වේදනා දෙන විට