Sunday, October 2, 2022

වැස්ස

වැස්ස



ඇහෙනවාද .... අද උදේ ඉදන්ම මට අහන්න ඕන වුන සද්දෙ. නෑ ඒක සද්දයක් නෙමේ. නිශ්ෂබ්ධකමක්. ඔව් වැහි බිංදු එකින් එක වහලෙට, එහෙම නැත්තම් පීල්ල දිගේ බිමට, අඩුම කොලින් කොලේකට වැටෙන සද්දෙ නැවතිලා පායලා කියලා දැනෙන සද්දෙට. නෑ සද්දෙට නෙමේ නිශ්ෂබ්ධකමට. නිෂ්ශබ්ධකමත් හරි අමුතු සද්දයක් නේද බබා.


මං ඉස්සරම ඉස්සර වැස්සට ආදරේ කළා. හුගාක්ම ඉස්සර. පහු පහු වෙද්දි වැස්ස එන්න කළින් අන්දකාරෙන් පරිසරයම වෙලා ගන්නවා තරම් ඉක්මනට ඒ වැහි අදුර මගෙ ජීවිතේටත් එඹිලා බලන්න ගත්තා. ඔයා දන්නවානෙ. ඉස්සර මට ඕන වුනේ වහිද්දි කොහෙ හරි මුල්ලක ලෝකෙන්ම හැංගිලා පාඩුවෙ දුක් වෙන්න. එක්කො ඇදට වෙලා කල්පනා කරන්න. පුරුද්දට  වැස්ස දිහා බලන් දුක් වුන කාලයක් තිබ්බා. ඉස්සර වගේ වැස්ස බලන පුරුද්ද තිබ්බත් ඒ වැටෙන වැහි පොදවලට වඩා වේගෙන් කදුලු මගේ හදවතේ ගැලුවා. සමහර වෙලාවට එක දෙකක් ඇස්වලින් බේරිලා කම්මුල සිපගත්තා. ඒ කාලෙ ගෙවිලා ගිහින් වසන්තය අරං ඔයා ආවම ඒ හැගීම වෙනස් කළා. හරි අපූරුවට 


ඔව් මං ආයෙම ඉස්සර වගේ වැස්සට ආදරේ කරන්න ගත්තා.  ඔව් වැස්ස දිහා ආදරෙන් බලන්න ගත්තා. වැහි බිංදු වැටිලා හේදිලා ගිය බිම්, මතුවෙච්ච වල ගොඩැලි, ගං වතුර වෙනුවට දූවිලි හේදිලා ගිය ගස් කොලම කොල පාටින් හිනා වෙන හැටි, අලුත් පනක් අරං වගේ ප්‍රබෝධමත් පරිසරය පේන්න ගත්තා. ඉස්සර මට ඕන වුනේ පාලු බංකුවක තෙමි තෙමි ඉදගෙන පාර දිහා බලන් ඉන්න තනියම. ඒත් දැන් මට ඕන වුනේ වැස්සට පැනලා නටන්න, ඔයා එක්ක වැස්සෙ තෙමෙන්නෙ, වැහි වතුර බේරෙද්දි ඔයාව ඉබින්න, තෙමි තෙමි බයික් එකේ යන්න. 


ඒත් ඒ ප්‍රහර්ශයම අරගෙන ආව වැස්ස ආයෙ ආයෙම මාව අවුල් කරනවා. මට විදින්න තිබ්බ තැන් අහුරලා දානවා. මාව අඩවනවා. මට මහ පාලු හැගීමක් අරං එනවා. අපේ හමුවීම්වලට හැම තිස්සෙම බාධා කරනවා. 


එක දවසක් නම් සමාව දීලා අමතක කරන්න තිබ්බා බබා. ඒත් එයා අවුල් කරන්නෙ අපේ දවස් . හොදට හිතලා ඒක කරන්නෙ. 


මං හිතන්නෙ වැස්ස ඔයාට ආදරේ කරනවා බබා. වැස්ස ආසයි ඔයාව විදින්න, ඔයාට එයාව විදින්න දෙන්න. අන්න ඒකයි හැම තිස්සෙම ආදණීය වැස්සකින් ඔයාව තෙමන්නෙ. අපේ හමුවීමවලට වැට බදින්නෙ

1 comment: