Sunday, October 16, 2022

ට්‍රයිඩැක්ස්

ට්‍රයිඩැක්ස් 




හරියට නමක් ගමක් උප්පැන්නයක් නැති මල් ගස් හරි අපූරුවට ගෙවත්ත ලස්සන කරනවා. සමහර විට ඒක මල් ගහක් කියලා අපිම දන්නෙ නැතිව ඒකත් වල් පැලෑටියක් කියන ගොඩට දාලා තියනවා ඇති. හරියට මිමෝසා වගේ. අනිත් ගස්වලට වගේ කිසිම සාත්තුවක් නැතිව ඔහේ හැදෙන ගස් සමහර විට ඉබේ වදවෙලා යාවි. එහෙමත් නැත්තම් අපිම වද කරලා දාවි. කොහොම වුනත් වෙන්නෙ අපිට, අපේ ගෙවත්තට ඒක නැති වෙන එක විතරයි.එක දවසක් නින්දෙන් ඇහැරලා එළියට බැහැලා නිකමට වුවමනාවෙන් වට පිට බැලුවහම කොච්චර ලස්සන ලොකු මල් වත්තක් ගෙදර හදාන තිබ්බත් මොකක්දෝ අඩුවක් දැනෙයි. එතකොට අපි පරක්කු වැඩි වෙයි. ඒ මල් ගහ, එහෙම නැත්තම් වල් ගහ සදහටම අපෙන් සමු අරන් තියෙන්න පුලුවන්. හරියට බාලොලියා වගේ නැත්තම් ට්‍රයිඩැක්ස් වගේ.


පොඩ්ඩක් ඉන්න ට්‍රයිඩැක්ස්! ඒ තරම් ලස්සන නමක් තියන මලක් කොහොමද වද වෙලා ගියෙ. ඒ තරම් ලස්සන නමක්. ට්‍රයිඩැක්ස් නම වගේම මලත් ලස්සනයි මට නම්. 


ඉස්සර ට්‍රයිඩැක්ස් පිපුනම මට හිතෙන්නෙ ලස්සන සුරංගනා ලෝකෙක ඇවිදිනවා වගේ හැගීමක්. ඔව් මං ආසයි ඒක උඩ ඇවිදින්න. මල් පෑගෙන්නෙ නැති වෙන්න. ඒත් කිසිම මලක් මට පෑගුනේ නැහැ කියන්න බෑ. ඒත් මං ආසයි පුංචි පුංචි මල් පිපිලා තියන සුරංගනා ලෝකයක් මැද්දෙන් යනවා වගේ දැනෙන ඒ හැගීමට. මට හිතෙනවා එතකොට ඇලිස්ගේ විස්මලන්තෙ කතාවෙ ඉන්න ඇලිස් මම කියලා. අර ලොකු වෙන බිස්කට් එක කාලා මම ලොකු වෙලා. පුංචි පුංචි ගස් මට පහළින්. සිහින කල්පනා නම් මවන්න කාට කොහොම බැරිද.


මට මතක නැහැ ඇත්තටම මම වයස කීය වෙනකන් ඒ මල් උඩ ඇවිද්දද කියලා..සමහර විට ඒ පහ වසර වගේ වෙන්න ඇති. 


අපේ ගෙදරදි විතරක් නෙමේ ඕන තැනක මම ට්‍රයිඩැක්ස් දැක්කොත් ඒක උඩ ඇවිද්දා. ඒ මල් යාය උඩ. ඔව් ඒක මල් යායක් වගේ පිපෙනවා. හරිම ලස්සනට. 



ඒ ළමයට පිස්සුද ඒ ළමයාගෙ ගෙදර විතරක් නම් කමක් නෑ පිට ගෙවල්වලත් ගිහින් මල් යායවල් පාගලා. ඒ ළමයාගෙ දෙමව්පියො ඒක එපා කියලා නැද්ද කියන ප්‍රශ්නෙත් එන්න පුලුවන්. 


නෑ එපා කියලා නෑ. කොහෙදිවත්. මොකද ඒක පුංචිම පුංචි වල් පැලයක්. මලක් හැදෙන. වල් පැල පෑගුවට අඩුම තරමෙ ගලවලා විසික් කරත් කවුරුත් මොකුත්ම කියන්නෙ නෑ. අඩුම තරමෙ ඒ කාලෙ මම ඒ මලට කියන නමවත් දැන ගෙන හිටියෙ නෑ. ඒ නැතත් ඒ මලට නමක් තියනවාද කියන එක වත්. ඇයි නමක් නැති මලක් තියෙන්න බැයිද?


කාලෙත් එක්ක හැමදේම වෙනස් වුනා. ඉස්සර මිදුලෙ තණකොල වැවෙන්න නොදී තණකොල අයින් කරා. වැලි පේන්න. ඒත් දැන් තණකොල පිටරටින් අරං ඇවිත් වවනවා. මේ අතර ගෙවුණු කාලෙ කොතනකදි හරි ට්‍රයිඩැක්ස් මල් මගෙ ඇස් මායිමෙන් යන්නම යන්න ගිහින්. පුංචි කාලෙ එච්චර ආදරේ කරපු මල මම අන්තිමට දැක්කෙ කොහෙදිද කියන්නවත් මට මතක නෑ. හරියට මං එක දවසක් උදේ නැකිටිද්දි ඒ හැමදේම එක පාරට නැතිවෙලා ගිහින් වගේ. 


මට මේ වෙලාවෙ ඕන ඔයාට තුරුල් වෙන්න. ඔව් එදා වගේ. ට්‍රයිඩැක්ස් ලෝකෙට අමතක වුණේ ඒකෙ නම මිනිස්සු දන්නෙ නැති හන්දද එහෙම නැත්තම් ඒක වල් පැලයක් කියලා මිනිස්සු නම් කරපු හන්දද කියලා අහන්න.


ඒත් මට ඕන දවසක මගේ ගෙදරක තණකොළ වෙනුවට ට්‍රයිඩැක්ස් හිටවන්න. ඒකෙ මල් පිපුණහම ඔයාගෙ අතින් අල්ලන් ඒක උඩ ඇවිදින්න. ඇස් වහගෙන ඒ හැගීම, එහෙම නැත්තම් ඒ විදීම මොකක් හරි එක ඔයත් එක්ක විදින්න. 

සමහර විට පිනි වැටිලා තියෙයි. එතකොට ඒ කකුලට දැනෙන සීතල සීතල ඔයාගෙ තොල් උඩට මාරු කරන්න. ඔව් ඒ මල් යාය මැද්දෙ හිටගෙන වත්ත පුරා එල්ලපු වින්ඩ් චර්ම්ස් වල සද්දෙ අස්සෙන් හරිම සීතල හාදුවක් ඔයා එක්ක බෙදා ගන්න. ඊට පස්සෙ කනට කරලා මං ඔයාට ආදරෙයි කියන්න. ඔයා මට ආදරෙනෙ බබී. ඔයා මගෙ මලනෙ කියනකන් ඔයාගෙ ඇස්  දෙකේ පැටලිලා ඉන්න. අන්න එතකොට හිතන්න දෙයක් නෑ මං ඉන්නෙ සුරංගනා ලෝකෙ.

7 comments:

  1. මේක නම් මාාාර ෆැන්ටසියක්. ඇත්තට ඔය චූටි චූටි මල් මාර ලස්සනයි. ලන්තානා ගැන ක්‍රිස්ටීන් විල්සන් ත් ඔය වගේ ම සඳහනක් කරනව. මගෙත් තියෙන ආසාවක් තමයි, වික්ටෝරියන් පැටන් ගෙදරක, ඉස්සරහ තණ පිට්ටනියක, ඩැන්ඩලයින් සහ ට්‍රයිඩැක්ස් මල්... (ට්‍රයිඩැක්ස් නම දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්). සයිප්‍රස් ගහක හදපු ට්‍රී හවුස් එකක් එහෙම. සුදු පාට තීන්ත ගාපු යකඩ පුටු වටේට තියෙන රවුම් යකඩ මේසයක්...

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න තැන ඒ වගේනෙ ඉතින්. ඕක අමුතුවෙන් හදන්න දෙයක් නෑනෙ දැන්

      Delete
    2. ඔයාලා කියන්නෙ ඩ්‍රැකී ඉන්නෙ අදුරු බලකොටුවක නෙමේ කියලද? අර චිත්‍රපටිවල වගේ හොල්පන් පාට පේන, අවුරුදු මිලියන හත්සීයකින් විතර ඉර එළිය වැටිලා නැති මකුලු දැල් පිරිච තැනක නෙමේ කියලාද?

      Delete
    3. නෑ දැන් ඩ්‍රැකී ඉන්නෙ ඔයිට හාත්පසින්ම වෙනස් තැනක. මල් සමනල්ලු පිරිණු ලස්සන ඉඩක

      Delete
  2. මට ලොකුවට මිටර් නැති උනාට එල පොස්ට් එකක්

    ReplyDelete