මට රිදෙන හැම තැනම
පැලැස්තර අලෝගෙන
ගලන හැම කදුලක්ම
සිනාවක සගව ගෙන
මා දවන තනි කමත්
තනියෙන්ම දරාගෙන
හිදින්නම් අද මෙන්ම
හෙටත් මග බලාගෙන
ඇට්ටේරියා
ආයෙමත් ඇට්ටේරියා මල් පිපිලා. සමහර මල් පෙති හැලිලා. සුදු පාවඩ එලලා වගේ. සුවද හැම තැනම. ඇට්ටේරියා කියන්නෙ මන් ආසම සුවදක්. පුංචි කාලෙ ඉදන්ම. මල් පිපීගෙන එන මුල් කාලෙ රෑට ඒ මල් සුවද ජනේලෙට තට්ටු කරන්නෙ හරි ආදරෙන්. ජනේලේ ඇරලා ආරාධනා කළා හෝ නොකළා හිමින් සැරේ කාබරේට රිංගන්නෙ අමුතුම හැගීමක් හිතට දීලා. පුංචි කාලෙ සුදු පාට පාවඩ වගේ තියන මල් පෙති උඩ ඇවිදින්නයි ඇට්ටේරියා අත්තක් හොලවලා ඒ මල් වැස්සෙ තෙමෙන්නයි ගොඩක් ආසා කරා. ඒත් දැන් කාලෙ වෙනස් වෙලා. ඒත් ඒ මල් සුවද අදත් ඊයෙ වගේම ජනේලෙට තට්ටු කරනවා. ඉතින් මන් ජනේලෙ අරින්නද එපාද කියලා කල්පනා කරන්න කලින් දකුණු කම්මුලේ තියන පුංචි කදුලු බිංදුවක් අතට ගන්නවා. හැමදාම දොරකඩම තියන ඇට්ටේරියා ගහේ මල් පිපෙන්නෙ මොන කාලෙටද අවුරුද්දකට කී පාරක් පිපෙනවාද කියන එක මන් දන්නෙ නෑ. නැහැ ඒක හොයන්න ඕන කමක් නෑ. හැමදෙයක්ම අහම්බෙන් වෙනකොටයි ලස්සන. විදීමක් තියෙන්නෙ. මුල් කාලෙ රෑට විතරක් ඒ සුවද එද්දි ඇට්ටේරියා මල් පිපිලාද කියලා දැන ගන්න එන ඕන කම, වැරදිලා නහයට නැතත් මනසට ඒ සුවද දැනෙන දවස් නැතුවමත් නෙමේ.
ඉතින් එදත් ඒ වගේ දවසක්. නොහිතපු මොහොතක ජනේලෙට තට්ටු කරනවා. විදින්න ආසා උනත් හදවතේ කැටිවුන බයත් එක්ක රෑ ජනේලෙ අරින්න මන් කල්පනා කරනවා. ඒත් ඒ සුවද විදින්න හදවත කියනවා. මන් ජනේලෙ අරිනවා. අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක. ඔව් වසන්ත කාලෙ පුරාම ඒ සුවද මාව ජීවත් කරවනවා, හුස්මත් එක්ක ජීවිතේ දෙනවා. හුස්ම කියන්නෙ ඒ මල් සුවද තැවරිලා එන ඔක්සිජන් විතරමයි කියලා විශ්වාසයක් ඇති කරවනවා. මල් පෙති උඩ මාව නලවනවා ඒත් ටික ටික ඒ මල් එකින් එක පරවෙනවා. ටිකෙන් ටික ඒ සුවද නැතිව හුස්ම ගන්න පුරුදු කරවලා මල් ටික හැලිලා යනවා. සුපුරුදු විදිහට මල් නැති ගහ දොරකඩ තනි රකිනවා. ඉදහිටක මලක් පිපෙනවා. මන් බලෙන් ඒ මල නහයට ලං කරලා සුවද විදිනවා. සමහර වෙලාවට මන් ආදරේ වැඩි කමට ඉබිද්දි පෙත්තක් දෙකක් හැලෙනවා. මන් දන්නෙ නෑ ආයෙ කවදා මල් පිපෙයිද කියලා. ආයෙ කවදාවත්ම කලින් වගේ ගහ පිරෙන්නම මල් නොපිපෙයිද කියන්නවත් මන් දන්නෙ නෑ. ඒත් මන් බලන් ඉන්නවා.
එකෝමත් එක රටක හිම පියල්ලක් තිබ්බා. සුදුම සුදුපාට හිම පියල්ලක්. කවදාවත් ඉර ඇහැ නොගැටුන හිම පියල්ලක්. එක දවසක ඉර ගැන ඉරේ උණුසුම ගැන, ඉර කොච්චර ආදරනීයද කියන එක ගැන කතාවක් හම්බුනා. ඉතින් ඒ කතාවෙන් පස්සෙ ඉර ගැන කතා හැම තැනම හොය හොය කියවන්න ගත්තා. ඉරට ආදරේ කරන්න ගත්තා. වසන්තය එනකන් බලන් හිටියා.
රාත්‍රී මියදිලා තිබුනා
ප්‍රේමයේ කවි ඔහේ ලියවුන
ඔබේ ලග මා නිවී සැනසුන
ආදරේ සුව හිතේ තැවරුන
රාත්‍රී මියදිලා තිබුනා
පිපෙන මල් දෙස බලා හිනහුන
වැටෙන කොල මත විඩා තවරපු
හමන සුලගින් පවා සනසපු
වසත් කල අවසන්ව තිබුනා
ගිම්හාන හිරු රැසින් වේලුනු
සිසිරයේ සීතලෙන් ගල්වුනු
ප්‍රේමයේ කවි කිසිත් නොගැයුනු
හදවතක් පපු දෙකක තිබුනා
නුබ නොමැති මහ රෑක
නෙත් අගින් බිම වැටුනු
කදුලු බිදු කැට අතර
ලේ බිදිති එක දෙකක් තිබුනා
එළිබසින්නට බලාගෙන සිටි
ලොවෙන් සගවා සිටිය ඉකියක
අපට අප අත් හැරී යන ඉගි
මහ ගොඩක් ගැලපිලා තිබුනා
ජීවිතේ එක පාලු දවසක
මටත් නොදැනිම හෙලුන සුසුමක
නුබට නොකියම දරාගෙන සිටි
කතාවක් සැගවිලා තිබුනා
නුබට අමතක අපේ මතකය
කොහේදෝ එක අදුරු මුල්ලක
යන්තමින් තව හුස්ම අරගෙන
ජීවිතය අල්ලගෙන වුන්නා
හිටිය හැටි මතකයිද හැමදේම බෙදාගෙන
ඉස්සරත් මේ වගේ උදේ රෑ නිදි නැතිව
අපි අපිම හීනයන් මහ ගොඩක් මවාගෙන
ආදරේ මහ ගොඩක් හදවතේ රදෝගෙන
හිටිය හැටි මතකයිද හැමදේම බෙදාගෙන
නුබ අනේ ගියෙ කොයිද ඉක්මනින් එන්නැද්ද
ප්‍රශ්නයන් මහ ගොඩකි තනිව විසදාගම්ද
දැන් ඉතින් නිදාගමු හෙටත් ලෙක්චස් නේද
ඉතින් මේ හැමදේම අතීතය විතරයිද
මගේ තැන අරගත්ත කෙනෙක් දැන් නුබට ඇති
මට කියපු හැමදේම ඇයට දැන් කියනවැති
හිටිගමන් මතකයක මගේ නම රැදෙනවැති
මතක්වී අපේ ගැන ඔය හදත් රිදෙනවැති
සිනා සෙන්නම් මමත් ඉදහිටනුබට නොව මා බැන්ද ප්‍රේමෙට