Sunday, October 9, 2022

ටෙඩියෙක්ට

ටෙඩියෙක්



මගේ සතුටෙදි දරා ඉන්නට

වැටෙන කදුලක් සගව ගන්නට

තනි කමේදිත් තුරුල් වන්නට

නුබ සිටී මට සැම දිනේදිම


පාලු රෑකදි හොරෙන් 

හාදු පොදි තවරන්න

මදුරු ගුමු ගුමුව මැද 

සනීපෙට සැතපෙන්න


උහිස්සක් අවැසි කල 

උරහිසම මට දෙන්න

ගිලිහෙනා කදුලු වැල් 

එකින් එක පිසදන්න


නිමාවක් නැති කතා 

හැමදේම ඉවසන්න

හිත බැදුනු හිත රිදුනු 

තැන් මගෙන් දැන ගන්න


මැදියමේදිත් හොදින් 

පොරෝනා සකසන්න

පාලු මූසල රැයක 

තනි නොකර ලග ඉන්න



නිදි නොමැති රෑවලත් 

තුරුලේම සනසන්න

හැමදාම නුබ සිටන 

බව දනී පෙර මෙන්ම


ඉදහිටක මගෙ බැනුම් 

සමාවී ඉවසගෙන

කෝපි පැහැ ඇස්වලින් 

සිනා සී ලග ඉන්න



බිය වෙලා ඇහැරිච්ච 

රෑකදිත් තනි මකන

"මං මෙතන නිදියන්න"

මුමුණනා ටෙඩියෙක්ට

තරම් පෙම් කළ හැකිද

කිසිදාක කිසිවෙක්ට?









Sunday, October 2, 2022

වැස්ස

වැස්ස



ඇහෙනවාද .... අද උදේ ඉදන්ම මට අහන්න ඕන වුන සද්දෙ. නෑ ඒක සද්දයක් නෙමේ. නිශ්ෂබ්ධකමක්. ඔව් වැහි බිංදු එකින් එක වහලෙට, එහෙම නැත්තම් පීල්ල දිගේ බිමට, අඩුම කොලින් කොලේකට වැටෙන සද්දෙ නැවතිලා පායලා කියලා දැනෙන සද්දෙට. නෑ සද්දෙට නෙමේ නිශ්ෂබ්ධකමට. නිෂ්ශබ්ධකමත් හරි අමුතු සද්දයක් නේද බබා.


මං ඉස්සරම ඉස්සර වැස්සට ආදරේ කළා. හුගාක්ම ඉස්සර. පහු පහු වෙද්දි වැස්ස එන්න කළින් අන්දකාරෙන් පරිසරයම වෙලා ගන්නවා තරම් ඉක්මනට ඒ වැහි අදුර මගෙ ජීවිතේටත් එඹිලා බලන්න ගත්තා. ඔයා දන්නවානෙ. ඉස්සර මට ඕන වුනේ වහිද්දි කොහෙ හරි මුල්ලක ලෝකෙන්ම හැංගිලා පාඩුවෙ දුක් වෙන්න. එක්කො ඇදට වෙලා කල්පනා කරන්න. පුරුද්දට  වැස්ස දිහා බලන් දුක් වුන කාලයක් තිබ්බා. ඉස්සර වගේ වැස්ස බලන පුරුද්ද තිබ්බත් ඒ වැටෙන වැහි පොදවලට වඩා වේගෙන් කදුලු මගේ හදවතේ ගැලුවා. සමහර වෙලාවට එක දෙකක් ඇස්වලින් බේරිලා කම්මුල සිපගත්තා. ඒ කාලෙ ගෙවිලා ගිහින් වසන්තය අරං ඔයා ආවම ඒ හැගීම වෙනස් කළා. හරි අපූරුවට 


ඔව් මං ආයෙම ඉස්සර වගේ වැස්සට ආදරේ කරන්න ගත්තා.  ඔව් වැස්ස දිහා ආදරෙන් බලන්න ගත්තා. වැහි බිංදු වැටිලා හේදිලා ගිය බිම්, මතුවෙච්ච වල ගොඩැලි, ගං වතුර වෙනුවට දූවිලි හේදිලා ගිය ගස් කොලම කොල පාටින් හිනා වෙන හැටි, අලුත් පනක් අරං වගේ ප්‍රබෝධමත් පරිසරය පේන්න ගත්තා. ඉස්සර මට ඕන වුනේ පාලු බංකුවක තෙමි තෙමි ඉදගෙන පාර දිහා බලන් ඉන්න තනියම. ඒත් දැන් මට ඕන වුනේ වැස්සට පැනලා නටන්න, ඔයා එක්ක වැස්සෙ තෙමෙන්නෙ, වැහි වතුර බේරෙද්දි ඔයාව ඉබින්න, තෙමි තෙමි බයික් එකේ යන්න. 


ඒත් ඒ ප්‍රහර්ශයම අරගෙන ආව වැස්ස ආයෙ ආයෙම මාව අවුල් කරනවා. මට විදින්න තිබ්බ තැන් අහුරලා දානවා. මාව අඩවනවා. මට මහ පාලු හැගීමක් අරං එනවා. අපේ හමුවීම්වලට හැම තිස්සෙම බාධා කරනවා. 


එක දවසක් නම් සමාව දීලා අමතක කරන්න තිබ්බා බබා. ඒත් එයා අවුල් කරන්නෙ අපේ දවස් . හොදට හිතලා ඒක කරන්නෙ. 


මං හිතන්නෙ වැස්ස ඔයාට ආදරේ කරනවා බබා. වැස්ස ආසයි ඔයාව විදින්න, ඔයාට එයාව විදින්න දෙන්න. අන්න ඒකයි හැම තිස්සෙම ආදණීය වැස්සකින් ඔයාව තෙමන්නෙ. අපේ හමුවීමවලට වැට බදින්නෙ

Sunday, September 25, 2022

 ඔරලෝසු මුහුණතත් මා දෙසම බලාගෙන

එහෙමෙහේ දුවන කටු දෙකත් මට රවාගෙන

ගී ගයපු සුරගනන් හොදටෝම අඩාගෙන

තනි රැකපු ඔහුත් අද ඈ තුරුලෙ නිදාගෙන



රහසක්

 රහසක්




කැමරාව මත රැදුන දෑතක් 

පන්හිදට පන පොවන සුරතක්

පින්සලක් අත හැරපු සවසක්

අයෙක් වෙත් ඒක තව රහසක්


කෝපි පැහැ ගත් සොදුරු දෑසක්‍ 

ඊ හිසක මෙන් තියුනු බැල්මක් 

මද සිනාවන් පනින දෙතොලක්

ඉද හිටක කැපී යන රැව්ලක්


ජීවිතේ මං කියන තරුවක්

සැමවිටම මා රකිය සුරයක්

හැම මොහොතෙ ලග දැනෙන හැගුමක්

මෙමට ඇත ඒක තව රහසක්


ඉදහිටක නුඹ දකින දවසක් 

වසත් මල් ඇහැ අරින මොහොතක්

මුහුණු පොත මත ලියූ අකුරක්

විඩාවන් නිවන මද සුලගක්


ඉදහිටක ගත රැදෙන සුසුමක්

සීතලෙන් මා වෙලන හැගුමක්

ඔහු නොමැති දින බොහෝ දිගුවක්

ජීවිතය වෙලා ගත් මහ නපුරු අදුරක්


සිසිරයේ හිරු මෙන්ම උණුසුම්

හමන මද පවන මෙන් සැනසුම්

ගිම්කාලෙ මා නිවන තෙපලුම් 

වසත් කල ඔහු කරයි ගෙත්තම්

Sunday, September 18, 2022

සිසිරයේදිත් ලිලී පිපුනා

සිසිරයේදිත් ලිලී පිපුනා





ආදරේ සුන්දරයි කියලා

ඇහැල මල් මුමුණාපු හන්දා

ප්‍රේමයක සිහිනයක් මැවිලා

මං මගේ හදවතම දුන්නා


ආදරය නම් මෙයැයි කියලා

අකුරු මත ඔබ ලියන හන්දා

හැම හීන ඒ තුළින් දැකලා

හදවතම මං නුඹට ලිව්වා


ඔබ මගේ ලොව සදයි හිතලා

අමාවක තනියෙන්ම ගෙවලා

රෑ අහසෙ තරු ගොඩක් දැකලා

හදේ හාවම වෙන්න පතලා


වසන්තය නුඹ ළගම හන්දා

ඔබ නොමැති සෘතු බොහෝ ගෙව්වා

නුඹ මෙමට දෙන සෙනෙහෙ දැකලා

සිසිරයේදිත් ලිලී පිපුනා

Sunday, September 11, 2022

රාත්‍රිය

 රාත්‍රිය




රාත්‍රිය තියෙන්නෙම නුබ පපුවෙ ගුලි වෙන්න

මුදු සුළං හමන්නෙම ඔය තුරුලෙ සනහන්න

තාරුකා සිටින්නෙම නුබ සදයි පෙන්වන්න

නුබ හාදු තවරන්නෙ ඔය සෙනේ දනවන්න


ආදරේ දැනෙන්නෙම ලගට වී මුමුනන්න

අත් දෙකක් පැටලෙන්නෙ පටලාන ඇවිදින්න

කවි අකුරු ලියවෙන්නෙ මගේ පෙම පෙන්වන්න

අපි අපිට බැදෙන්නෙම එක්වෙලා දුර යන්න


මුහුණු පොත තියෙන්නෙම අපි අපට හමුවෙන්න

නුබේ වතගොත සොයා හැමදාම පෙරලන්න

මග හැරුණු කවි ගීත එක්වෙලා කියවන්න

සයිබරය තියෙන්නෙම සැමගෙන්ම සැගවෙන්න


මතකයන් තියෙන්නෙම සොදුරු දින සිහිවන්න

සිහිනයන් දකින්නෙම නුඹ මගෙයි දනවන්න

හැම පැතුම් පතන්නෙම ඔබ අසල දැවටෙන්න

සිනහවන් තියෙන්නෙම කදුලු කැට සගවන්න

Sunday, September 4, 2022

වසත් කල

වසත් කල




නුබේ සිනාවක සෙමින් දැවටී

හාදු නම් මට හරිම මිහිරී

ශීත සෘතු නම් සෙමින් දියවී

මෙ මා නුබ ලගම රැදුනී


මුහුණු පොත් ඇරයුමක ඇමිනී

මින්දදගෙ හීසැරය යැවුනී

අකුරු මත ප්‍රේමයට මත්වී

හදවතම නුබ නමට ලිවුනී


වසත් කල ආබවක් හැගුනී

පුදන පෙම මල් වෙලා පිපුනී

ජීවිතේ නම් මෙයැයි සිතුනී

මං නුබට තව තවත් බැදුනී


ජීවිතේ රැදි තනුව නුබවී

සෑම කවි ඔබ වටා ගෙතිනී

ප්‍රේමයේ සෙනෙහසින් සැනසී

මෙමා නුබ ලගම නිවුනී