Saturday, October 30, 2021

වැහි කදුලු


 

වැහි කදුලු





ඉතින් මේ හිස් ගුවන අඩන්නේ කුමකටද

මගෙ හදේ ඇති කදුලු අහස බිම දැම්මාද

පාලු නෑ නුඹ යන්න සිනාසී කීවාට

හදවතම දැවුනු බව අහස නුබ දැක්කාද


ඉදහිටක ඉකියකුත් මේඝයට හැරුනාද

හදවතම ගැස්සිලා ඔහු කොහේ සෙව්වාද

කමක් නෑ හෙට ඉදන් ඔහු මගෙයි සිතුවාද

ඔහු නොමැති මගෙ පාලු අහසටත් දැනුනාද


සුදු පාට වලාකුළු අලු පාට ගෙන මොකද

කෝපි මෙන් උණුසුමක් ඔහුගෙ ගත වැදුනාද

පොතක් මෙන් ඇගේ ගත ඒ නෙතේ රැදුනාද

මං නොමැති දින හොදින් ඈ එක්ක ගෙව්වාද


කදුලු කැට එකින් එක බිම සිබින්නේ මන්ද

ඔහු නොමැති පාලු දින මේ තරම් දිගු ඇයිද

සද නොමැති රෑකටම බය හිතෙන්නේ මන්ද

ඒ වතේ උණුසුමම හිත යදින්නේ මොකද

Tuesday, October 12, 2021

ඇය (නුඹ) මම

ඇය (නුඹ) මම




නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්

අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්

 නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්

ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්


මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්

ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්

හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්

නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්


ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්

අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්

නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්

වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්


රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්

හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්

ආදරේ නුබට මයි අපි අපට කියූවත්

අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්

Saturday, September 4, 2021

පොරොන්දු වුණා නම්

 පොරොන්දු වුණා නම්








තල් වැටට නොපායනා සඳ

මෝදු වුනත් අමාවකට සයිබෙට

හොද නැතිලු විදගන්න සඳකැන්

අවාරයේ කාටත්ම හොරැහින්


සීත සුළන් හමනා විට

තව තවත් නපුරු හිම කැට

සිප ගන්න විට අපේ නලලත

කැළණි ගන් තුහිනවලට මෙන්ම

ඉඩ දෙන්න තිබුනා නුඹටත්

හිමිහිට තුරුළු වෙන්න හදවතට

නුඹ මගේ දුල්ශෙයින් වුනා නම්


පච ගස් සෙවනේ තනි වුණු බන්කුවේ

සත්තයි ලගින් ඉන්නවා මන්

දෙවොන්දරා නොරිකොව තනිකරා වගේ

තනි නොකරන බව පොරොන්දු වුණා නම්


Saturday, August 28, 2021

ආදරේ සමුගැන්ම

ආදරේ සමුගැන්ම




 නුබ ගියත් දුර ඈත

වෙලා මා තනිකමින්

සෙනෙහසින් මග බලා

හිටියනේ හුගක් කල්

 

හිත අස්සෙ ගුලි වෙච්ච

ආදරෙත් සමු අරන්

වෙන්වෙලා යමුද අපි


තවත් හිත් නොතලමින්

Tuesday, August 24, 2021

අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට






අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

කදුලු බිදු හෙමි හෙමින් මුව සිබින් සවසකට

ප්‍රේමයේ චුම්බනය මට ඇවැසි මොහොතකම 

රාගයේ පහසින්ම ඈ නිවෙන රාත්‍රියට


අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

නුබ ඇගෙද නුබ මගෙද නොදන්නා මොහොතකට

නිදි නැතිව ගෙවපු රෑ නිමාවන  දිනයකට

නුබ හොදින් දැයි මගෙන් නොවිමසන පැයවලට


අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

මගෙ සුසුම් ඉද හිටක ඔහු සිබින දිනයකට

නුබෙ සිනා ඇගෙ මුවින් මට පේන මොහොතකට

සද අයිති අහසටම බව පේන රාත්‍රියට 


අමාවක කියන්නෙම මට රිදෙන දිනවලට

මගෙ කදුලුවල සැරෙන් නුබ දැවෙන පැයවලට

නුබේ තුරුලේම ඇය සැනසෙනා රෑවලට

හදවතම  සීරිලා ලේ ගල මොහොතකට

Friday, August 20, 2021

 

සුදු පාට මල් මතක මගේ ගත දවටගෙන

පිනි පාට කඳුලකින් මගේ නෙත තෙමාගෙන

හද දවන මේ දුකත් තනියෙන්ම දරාගෙන

හිදින්නම් පෙර මෙන් ම හෙටත් මග බලාගෙන




Wednesday, August 11, 2021



 ආදරය සුන්දරයි  ප්‍රේමයෙන් වෙලෙනකොට

සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට

මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට

හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට